අද දරුවන්ට තියෙන්නේ හරි අමුතු අදහස්

මාර්තු 18, 2020

අපේ පුංචි දුවලා, පුතාලා ලස්සනම ලස්සන පුංචි සුරංගනාවෝ ගැන අහලා ඇතිනේ. මේ වගේ ලස්සන සුරංගනාවක් වලාකුළු පිරි ආකාශයේ සිට මේ ලෝකය දකින්න ආසාවෙන් අපේ ලෝකයට පැමිණියා. ඇය මේ ලෝකයට ආවේ එයාගේ තිබුණු වටිනා පළිඟුවේ බලයෙන්.

හැබැයි මේ සුරංගනාව අපේ ලෝකයට ආවාට පස්සේ ඇගේ මේ වටිනා පළිඟුව නැති වුණා. ඇයගේ මේ පළිඟුව නැති වුණේ මහ කැලෑවකදී. සුරංගනාවට කිසිම දෙයක් කරගන්න බැරිව මහ කැලේ අතරමං වෙලා ඉන්න වෙලාවෙදි මේ කැලෑවට ආපු දරුවෝ රංචුවකට ඇයව හමුවෙනවා.

දරුවන්ට ඇය දැක්කහම අදහ ගන්නත් බැහැ. හරිම පුදුමයි. සුරංගනාව ඇයට වුණු කරදරය ගැන අඬ අඬා මේ දරුවන්ට කිව්වේ හරිම දුකෙන්.

ඔයාලා මට මේ පළිඟුව හොයලා දුන්නොත් ඔයාලා ඉල්ලන ඕනෑම වරම් තුනක් දෙනවා කියලා ඇය මේ දරුවන්ට පොරොන්දු වුණා. මේක අහපු දරුවෝ දෙන්නෙක් මේ සුරංගනාවට පළිඟුව හොයලා දුන්නා.

සුරංගනාවට හරිම සතුටුයි. ඇය පොරොන්දු වුණු විදිහටම මේ දරුවන්ට වරම් තුනක් දෙනවා.

මේ ලස්සන කතාවේ ඉතිරි කොටස වෙන් වුණේ අපේ දුවලා පුතාලට. පුදුම පළිඟුව (වොන්ඩර් ක්‍රිස්ටල්) තමයි මේ ළමා කතා පොතේ නම.

මේ ආකර්ෂණීය කතාවට මුල පුරන්නේ පුංචි දරුවන්ගේ සිහින සිත්තරාව. ඇය අපේ දරුවන්ගේ සිහින සිත්තරාව විතරක්ම නොවෙයි. පරම්පරා තුනකම ළමා ලෝකය සිතුවම් කළ ආදරණීය නැන්දා...... සිබිල් වෙත්තසිංහ. යුග යුග පරම්පරා ගණනක ළමා සාහිත්‍යයේ රන් සලකුණ තැබූ ඇය අපට වටිනාම සම්පතකි.

ගීත සාහිත්‍යයේ අමරදේවයන්, සිනමාවේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මෙන් සිතුවම් කලාවේ ළමා සාහිත්‍යයේ අපේකම රැකගෙන ජාත්‍යන්තරයට ගිය ජ්‍යෙෂ්ඨයන් අතර ඇය රන් සලකුණ තබයි. තමන්ටම අනන්‍ය වූ සිතුවම් රටාවක් තුළින් ළමා ලෝකය ස්පර්ශ කළ ඇය මුළු විශ්වයේම දරුවන්ගේ සිත්තරා වූයේ ළමා සාහිත්‍යයට පොත් පත් රාශියක් තිළිණ කරමිනි. වසර පහේදී අඟුරු කැබැල්ලෙන් සායම් ගෑ බිත්තියේ සිතුවම් ඇන්ද සිබිල් වෙත්තසිංහ නම් අසාමාන්‍ය චිත්‍ර ශිල්පිනිය පසුගියදා ගිනස් පොතේ අලුත් වාර්තාවක් තැබූ සතුට බෙදාගන්නට අප ඇයගේ නිවෙසට ගොඩවුණා.

අපට සිබිල් නැන්දා ගැන අලුත් ආරංචියක් ආවා.... ඒක දැනගන්නයි ආවේ” පැපිලියානේ ඩයස් පෙදෙසේ ඇයගේ නිහඬ නිවෙසේ ඉහළ මහලට ගොඩවෙනකොටම අප පිළිගන්නට පැමිණි ඇයට අප පැවසුවේ මහත් සතුටින්.

“ඇත්තටම ඒක නම් මටත් හිතාගන්නත් බැරි දෙයක්. ඒක සිද්ධ වුණේ අහම්බෙන්.” ඇය කතාවට මුල පිරුවේ ඇයට හුරු පුරුදු හාන්සි පුටුවේ හිඳගනිමින් ය. කතාව ඇරැඹුවේ හරිම සැහැල්ලුවෙන්.

“ඔය කතා පොත ලියන්න පටන් ගත්තේ පහුගිය අවුරුද්දේ ලෝක ළමා දිනය නිමිත්තෙන්. මේ කතාව පටන් ගත්තේ මම වුණාට අවසානය නිර්මාණය කරන්න අපේ දරුවන්ට අවස්ථාවක් ලබා දුන්නා. පුදුම පළිඟුව කියන මේ පොතේ මුල්ම කොටස මම සම්පූර්ණ කළාට පස්සේ සුරංගනාවිගෙන් දරුවන් ඉල්ලපු වරම් තුන ගැන නිර්මාණශීලී ආකාරයට ඉදිරිපත් කරන්න සෑම දරුවකුටම සිලෝන් බිස්කට් සමාගම අවස්ථාව ලබාදුන්නා. මේ පොතේ අවසානය විවිධ ආකාරයෙන් චිත්‍ර සහිතව නිර්මාණශීලීව ඉදිරිපත් කරලා තිබුණු ආකාරය හරිම පුදුමයි.

ලංකාවේ හැම පළාතකම ඉන්න දරුවන් විසිදහසකට වැඩි ප්‍රමාණයක් තමුන්ගේ නිර්මාණ එවලා තිබුණා. ඇත්තටම කවුරුහරි ලියපු කතාවක් සම්පූර්ණ කරන එක ලෙහෙසි වැඩක් නෙවෙයිනේ. හැබැයි මේ දරුවන්ගේ හැකියාව නම් හරිම විශිෂ්ටයි.

මේ නිර්මාණ විසිදහසම කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුභාන්ගි හේරත් මහත්මිය සමඟ කණ්ඩායමක් විසින් කියවලා එක්දහස් දෙසිය පනහක් හොඳම නිර්මාණ ලෙස තෝරාගෙන තියෙනවා.

මේ එක්දහස් ගණනම එකතු කරලා තමයි එක පොතක් මුද්‍රණය කළේ. මේ වගේ දෙයක් ලෝකයේ පළමුවරට කරපු රට තමයි ශ්‍රී ලංකාව.

ඇත්තටම මේ කටයුත්ත හරිම වටිනවා. මේ රටේ කිසිම වැඩකට ළමයින්ගේ අදහස් යෝජනා ගන්නේ නැහැනේ. නමුත් මගේ නිර්මාණ හැම එකකටම ළමයින්ගේ අදහස් යෝජනා ගන්නවා.

මම නිර්මාණ කරන්නේ වයස අවුරුදු පහේ ඉඳලා. දැනට මම 6000 කට වැඩිය නිර්මාණ කරලා තියෙනවා.

මම නිර්මාණ කළාම හැමදාම පාසලකට ගිහින් දරුවන්ට කතාව කියනවා. ඒ දරුවන්ගේ අදහස් දැනගන්නවා. ඒක නිසා තමයි මගේ නිර්මාණ ළමයින්ට හුඟක්ම සමීප වුණේ.”

ඇයගේ වයස අවුරුදු 92 කි.

එහෙත් ඇය තවමත් කුඩා දරුවකු සේ නිදහස්ව අප සමඟ පිළිසඳරේ යෙදෙන්නේ මහත් සැහැල්ලුවෙනි.

“හුඟ දෙනෙක් කියන්නේ අපේ දරුවෝ දැන් හුඟක් වෙනස් කියලා. ඇත්තටම දැන් දරුවන්ගේ හැකියාව කොහොම ද?” මේ කතාව අතර ඇයගේ මම ඇසුවේ තරමක වෙනස් පිළිතුරක් අපේක්ෂාවෙනි.

“හරි අමුතු අදහස් ඒ දරුවනට තියෙන්නේ..... ඒ අදහස් නිර්මාණ හරිම ඉහළයි.

මේ අවස්ථාව අපේ ගුරුවරුන්ටත් අපේ රටේ ලේඛික, ලේඛිකාවන්ටත් ඇහැ ඇරෙන්න ඇති. තම පොත් පත් නිර්මාණකරණයට ඉස්සර අදහස් ගැනීම තමයි සාර්ථකම ක්‍රමය.

2020/03/26 තරුණි බලන්න


දුමින්ද කාරියවසම්

ඡායා - ටෙනිසන් එදිරිසිංහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.