මේ නිවාඩු කාලය පවුලේ හැමෝටම එකට ඉන්න ලැබුණු හොඳම අවස්ථාවක්

- සෂිකා නිසංසලා
මැයි 6, 2020

සංගීත ක්ෂේත්‍රයට කාලෙන් කාලෙට විවිධාකාර ගායක, ගායිකාවෝ පිවිසෙති. ඇතැමුන් එන වේගයෙන්ම ක්ෂේත්‍රයෙන් බැස යන අතර තවත් පිරිසක් හැමදාමත් ජනප්‍රියත්වය එකලෙස තබා ගනිමින් කලාවේ නියැළෙති. එහෙත් මෙවැනි කලාවක නොකඩවා වසර ගණනාවක් තම ජනප්‍රියත්වය එකලෙස පවත්වාගෙන යාම නම් එතරම් පහසු දෙයක් නොවෙයි.

මේ කියන්න යන්නේ ජනතා ආදරය එකලෙස ලබන එවන් ගායිකාවක් ගැනයි. ඇය සශිකා නිසංසලා. නම ඇසූ පමණින්ම ඈ ගයන ගීත ඔබේ මතකයට නැගේවී. නොකඩවා වසර හතරක්ම Slim Nielsen Peoples Award ජනප්‍රිය ගායිකාවට හිමි ජනතා සම්මානය දිනාගත් ඇය පසුගියදා පස්වැනි වරටත් එම සම්මානයෙන් පිදුම් ලැබුවා.

ජනතා ආදරය දිනා ගත් සශිකා ආදරණීය කැදැල්ලක හිමිකාරියක්. මේ ඈ සමඟ කළ සොදුරු කතා බහයි.

පස්වැනි වරටත් ජනතාවගේ ගායිකාව ඔබයි....

ජනප්‍රිය ගායිකාවට හිමිවන peoples award ලබපු මේ පස්වෙනි අවස්ථාවයි. එක දිගටම වසර පහක් මට මේ සම්මානය හිමිවුණා. මේක ජනතාවගේ කැමැත්ත අනූව ලබපු සම්මානයක්. 2016 වසරේ සිට මේ සම්මානය මට ලැබුණා. නමුත් ඊට පෙර වසරවලදීත් කිහිප වතාවක්ම මට ඒ සම්මානයට නිර්දේශ වෙන්න අවස්ථාව ලැබුණා. මම නිතරම මගේ ආදරණීය ජනතාව එක්ක ඉන්න කෙනෙක්. අවුරුදු විස්සක් තිස්සේ ප්‍රසංගවලට සහභාගී වුණා. ඒ හැම එකකදීම රසිකයන්ගේ ආදරය මම සජීවීවම අත්වින්දා. ඒ හැම වෙලාවෙම ළඟට ඇවිත් ඔවුන් කතා කරනවා.. ඒ ආදරය සම්මානයක් විදියට මෙහෙම අතට ලැබීම ගැන ඇත්තටම දැනෙන්නෙ ලොකු සතුටක්. මේ සම්මාන පහත් සමඟ මේ වෙද්දී මම සම්මාන විස්සක් ලබලා තියෙනවා. මේ හැමදේම පිටිපස්සේ මාත් එක්ක ලොකු පිරිසක් හිටියා.

ලංකාවේ බොහෝ දෙනා සශිකට මෙතරම් ආදරය කරන්නේ ඇයි?

අපි කාගේ හරි ගීතවලට, හඬට ආදරය කරනවා නම් එයාගේ පෞද්ගලික ජීවිතය ගැන උනන්දු වීම සාමාන්‍ය දෙයක්. එතැනදී පුද්ගල ආකර්ෂණයට එයාගේ ඇඳුම්, හැසිරීම්, පැවැත්ම බලපානවා. මම සුජාතා අත්තනායක මහත්මියට පුදුමාකාර ඇල්මක් දැක්වූ කෙනෙක්. ඇය අඳීන විදිය, වැදගත් හැසිරීම් රටාවට මම ආදරය කළා.

ඇය බිරිඳක් විදියට, මවක් විදියට ගෙවන ජීවිතයට ආදරය කළා. ඇය කිසිදාක කිසිම කට කතාවක් හදා ගත්තෙ නැති ගායිකාවක්. මගේ පරමාදර්ශි චරිතය වුණේ ඇය. අද මටත් මගතොටේදී හමුවන රසික පිරිස විශේෂයෙන් මට වඩා වයසින් වැඩිහිටි අය කියන දේවල් තුළින් මගේ පෞද්ගලික පැවැත්මට ඒ අයගේ ආදරය ලැබෙන බව මට දැනෙනවා. මගේ ඇඳුම් ඒ අය අගය කරනවා. මහත්‍තයයි, දරුවො දෙන්නයි එක්ක සාර්ථක ජීවිතයක් ගෙවන එක අගය කරනවා. තමන් හොඳීන් ඉන්නවානම් කට කතා වුණත් හැදෙන්නේ නෑ.

සමහර අය කියනවා තමන්ගේ කලා නිර්මාණ මිසක් පෞද්ගලිකත්වය නෙවෙයි වැදගත් කියලා. ඒත් ඒ කතාවෙන්ම තේරෙනවා ඒ අයගේ පෞද්ගලිකත්වය තුළ මොකක්දෝ හැංගිච්ච රහසක් තියෙනවා කියලා. කලා ක්ෂේත්‍රය අනෙක් ක්ෂේත්‍රවලට වඩා සංකීර්ණයි. ඒ තුළ විවිධාකාර අය ඉන්නවා. වැඩිපුර ගැවසෙන්නෙ පිරිමි. කාන්තාවන්ට වැඩිපුර ගනුදෙනු කරන්න වෙන්නේ පිරිමි එක්කයි. පෞද්ගලික ජීවිතය තුළ ප්‍රශ්න ඇති නොවන විදියට ඉන්න තමන් දැන ගන්න ඕනේ. එහෙම වුණොත් පෞද්ගලික ජීවිතයට ජනතාවගේ ආදරය ගෞරවය ලබන්න බැරි නැහැ.

ඔබ බොහොම පුංචි තැනකින් ගායන ජීවිතය පටන් ගෙන ඉහළම තැනට ආ කෙනෙක්.....

ඇත්තටම මගේ ගායන දිවිය ඇරැඹෙන්නේ ළමා ගායිකාවක් විදියට. මගේ ජීවිතේ දිහා ආපස්සට හැරිලා බලද්දී අද මට විශාල සතුටක් ඇතිවෙනවා. මේ ගමන කවදාවත් තනියම එන්න පුළුවන් වුණු ගමනක් නොවෙයි. මේ ගමනේ මූලාරම්භය වෙන්නෙ මගෙ තාත්තාගේ කැමැත්ත සහ ආසාව. මම ගායිකාවක් වුණේ ඇත්තටම තාත්තගේ උනන්දුව හා කැපවීම නිසාමයි. මට නොතේරෙන කාලේ ඉඳන් ඔහු තමයි මාව මේ පැත්තට යොමු කළේ. උපතින් මට පිහිටපු හැකියාව මුලින්ම හඳුනා ගත්තේ ඔහු. ඊට පස්සේ ඔහු ඒ ගැන උනන්දු වෙලා සංගීත අධ්‍යාපනය පැත්තට යොමු කළා. අපි හිටියේ දැරණියගල දුෂ්කර ගමක. මගේ අධ්‍යාපන කටයුතු ගැන හිතලා තමයි තාත්තා ටිකෙන් ටික නගරයට එන්න පටන් ගත්තේ. මුලින්ම අපි පදිංචියට ආවේ අවිස්සාවේල්ලට. තාත්තටත් සින්දු කියන්න, වාදනය කරන්න හැකියාව තිබුණා. තාත්තා තමයි උදාර, මුතුහර වගේ වැඩසටහන්වලට මාව එක්කගෙන ගියේ.

පාසල් වියේ සිටම ඔබ දක්ෂ ගායිකාවක්..?

මම මූලික අධ්‍යාපනය ලැබුවේ දැරණියගල ඌරපොල කනිෂ්ට විද්‍යාලයෙන්. ඉන්පසුව අවිස්සාවේල්ල නව කනිෂ්ට විද්‍යාලයෙනුත්, ශිෂ්‍යත්ව විභාගය සමත්ව ඇහැලියගොඩ ධර්මපාල විද්‍යාල‍යෙනුත් අධ්‍යාපනය ලැබුවා.

ධර්මපාල විද්‍යාලයේ ඉන්න කාලයේ ගොඩක් සංගීතය පැත්තට යොමු වුණා. ඒ පාසලේ එවකට සිටි විදුහල්පතිවරයාත් සංගීතයට සහ කලාවට ගොඩක් කැමැතියි. එතුමා අපට සංගීත තරගවලට යන්න උනන්දු කළා. ඒ කාලේ මම රූපවාහිනී, ගුවන් විදුලි වැඩසටහන් සඳහා සහභාගී වුණා.

ඊට පස්සේ උසස් පෙළ කරන්න නුගේගොඩ අනුලා විද්‍යාලයට ඇතුළත් වුණා. ඔය අතරේදී තමයි මම තුරුණු ශක්ති තරගයට ඉදිරිපත් වුණේ. ඇත්තටම මම තුරුණු ශක්ති තරගයට ඉදිරිපත් වෙනකොට උසස්පෙළ විභාගය කරලා තිබුණෙත් නැහැ. මගේ ජයග්‍රහණයෙන් පසුව මම මූලිකත්වය දුන්නේ විභාග කටයුතුවලට.

ඒ කැපවීම නිසාම මට විශ්වවිද්‍යාල වරම් හිමි වුණා. විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේදී සංගීත ප්‍රසංගවලට සහභාගී වුණා. ඒ කාලේ මට මගේම ගීත කිහිපයක් තිබුණ නිසා අනුන්ගේ ගීත ගයන්න අවශ්‍ය වුණේ නැහැ.

පාරමිතා නොපුරමු අප දෙදෙනා මතුමතු සංසාරේ.. ඒ තමයි මුලින්ම ජනප්‍රිය වූ ගීතය. ඉන් පසුව මගේම ගීත රාශියක් එළිදැක් වූවා. මෙතෙක් මා ගායනා කළ සෑම ගීතයක්ම වගේ ඉතාම ජනප්‍රිය වුණා.

ඔබේ ප්‍රේමය හමු වුණෙත් සරසවියෙන් නේද?

ඔව් සුරංග මතඟවීර. ඔහුව මට හමුවන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේදී. අපි දෙන්නා අවුරුදු පහක් ආදරය කරලයි විවාහ වුණේ. අපි දෙන්නා දැන් ආදරණීය සැමියෙක් බිරිඳක් වෙලා. දරුවන් දෙදෙනකුගේ මවුපියන් වෙලා. ඔහු අපේ පවුල වෙනුවෙන් ගොඩක් කැප කිරීම් කරලා තියෙනවා.

ඔහු කැම්පස් එකේ විද්‍යා විෂයන් හැදෑරුවේ. ඊටපස්සේ පෞද්ගලික ආයතනයක හොඳ පිළිගත් රැකියාවක් කළා. එයා කාර්යබහුල වෙද්දී මගේ වැඩයි, පුතාලගෙ වැඩයි කරගන්න ටිකක් අමාරු වුණා. ඒ දවස්වල සුරංග වැඩ ඇරිලා ගෙදර එද්දි රෑ වෙනවා. ඒ නිසාම දරුවන් ගැනයි මං ගැනයි හිතලා ඔහු රැකියාවෙන් අයින් වුණා. දැන් ඔහු ව්‍යාපාරයක් කරගෙන අපිත් එක්ක සතුටින් කාලය ගත කරනවා.

දරුවන් සමඟ කාලය ගත කරන්නෙ කොහොමද?

ලොකු පුතා මිහින්. එයාට දැන් අවුරුදු 10ක් වෙනවා. පොඩි පුතා හිරුන් ට වයස 7යි. දෙන්නම සපුගස්කන්දේ යොෂිඩා ජාත්‍යන්තර පාසලේ ඉගෙන ගන්නවා. පොඩි පුතා හිරුන් නම් ටිකක් දඟ මල්ලක්. මල්ලි මොනවා කළත් ලොක්කා ගණන් ගන්නෙ නැහැ. කොණ්ඩෙ ඇදලා හරි, ගහලා හරි රිදුණොත් අඩනවා. මල්ලිට මුකුත් කියන්නෙ නැහැ. ඒ වුණාට දෙන්නට දෙන්නා හරි ආදරෙයි.

ගොඩක් වෙලාවට සුරංග තමයි උදේට එයාලව ලෑස්ති කරන්නෙ. සමහර දවස්වලට රෑ වෙනකල් සංගීත ප්‍රසංග තිබුණොත් උදේම නැගිටලා වැඩ ටික කරන්න මට ටිකක් අපහසුයි. ඒත් මං නිතරම බලන්නෙ දරුවොත් එක්ක කාලය ගත කරන්න. මං කාර්යබහුලයි. ඉතිං දරුවන් එක්ක ඉන්න කාලය ටිකක් අඩුයි. ඒත් මේ දවස්වල මේ ලැබිලා තියෙන නිවාඩුවත් එක්ක මට එයාලත් එක්ක දවසම කාලය ගත කරන්න ලැබෙනවා. ගෙවත්තෙ වැඩවලට කුස්සියෙ පොඩි පොඩි වැඩවලට එයාලවත් එකතු කරගෙන කරද්දි ලොකු සතුටක් ලැබෙනවා. කොරෝනා නිසා ලෝකයටම ලොකු ව්‍යසනයක් වෙලා තියෙන මේ වගෙ වෙලාවක කවුරුත් ඒ සෞඛ්‍ය උපදෙස් නීති පිළිපදින්න ඕනේ. අපිත් ගෙදරට වෙලා කාලය ගත කරනවා. ඒ කාලය නීරස කර ගත යුතු නැහැ. පවුලේ හැමෝමත් එක්ක එකතු වෙලා මොනවා හරි වැඩක් කරන්න. මේක පවුලේ හැමෝටම එකට ඉන්න ලැබුණ හොඳ අවස්ථාවක් කියලා හිතන්න.

ගෙදර වැඩ, දරුවන්ගෙ වැඩ, සංගීත වැඩ මේ ඔක්කොම එකතු වුණාම වැඩ වැඩියි කියලා හිතෙන්නෙ නැද්ද?

වෙන අම්මලාට නම් ඔක්කොම වැඩ ඉවරවෙලා රෑට විවේකයෙන් ඉන්න පුළුවන්. ඒ වුණාට මම රෑටත් වැඩ. සමහර දවසට ප්‍රසංග දෙක තුනක් තියෙනවා. එහෙම දවසට හරිම මහන්සියි. ඒ වුණත් ගෙදර වැඩ කරන්න ඔනෙනේ. සමහර දවසට නම් අම්මා කෑම ටික හදලා දෙනවා. ගොඩක් වෙලාවට මට හිතෙනවා මගේ වැඩ ඔක්කොම කරගන්න දවස මදියි කියලා. සුරංග ඉන්න නිසා හොඳයි. මාව ප්‍රසංග වලට එක්කගෙන යන්නෙත් එයා. එයා මටත් වඩා පවු. මොකද මම නම් වාහනේදී හරි පොඩ්ඩක් නිදාගන්නවා. එයාට ඒකත් බෑනේ.

ඇත්තටම අම්මයි තාත්තයි සැමියයි නොවෙන්නට මට සැහැල්ලුවෙන් මේ ගමන යන්න නොහැකියි. මගේ දරුවෝ දෙන්නගේ සියලු වගකීම් අම්මයි තාත්තයි සැමියයි බලා ගන්නවා. ඒ නිසා තමයි මම ප්‍රසංගවලට පවා හිතේ සැනසිල්ලෙන් යන්නෙ.

මවක් බිරිඳක් ගායිකාවක් විදියට කොහොමද පවුල් ජීවිතය සාර්ථක කරගන්නේ.....

පුතාලා ලැබුණු මුල් කාලයේදී මං ක්ෂේත්‍රයේ වැඩවලින් ගොඩක් ඈත් වුණා. ලොකු පුතා ලැබුණු 2010. පළමු දරුවා නිසා මම ගොඩක් පරිස්සම් වුණා. අම්මා කෙනෙක් විදිහට බබා බඩට ආව දවසෙ ඉඳන්ම මම පරෙස්සම් වුණා. අපි දුර ප්‍රසංග වලට වගේම ගමන් ගියෙත් නෑ. දෙවැනි දරුවටත් එහෙමයි. දරුවො හැම වෙලාවෙම අම්මගෙ ආදරය බලාපොරොත්තු වෙනවා. ඉතිං මට පුළුවන් හැම වෙලාවෙම එයාලා එක්ක ගෙදර ඉන්න උත්සහ කරනවා. පොඩි එක්කෙනා මං ගෙදර ඉන්නවනම් මගෙ පස්සෙන්මයි.

අපි හැමදේටම කලින් මුල්තැන දෙන්න ඕනෙ පවුලට. පවුල් ජීවිතය කඩා වැටුණොත් අනෙක් හැමදේමත් කඩා වැටෙනවා.

සමහර වෙලාවට භාර ගන්න බැරි තරම් සංගීත ප්‍රසංගවලට ආරාධනා ලැබෙනවා. ඒ හැමදේම බැලන්ස් කරලා කරගන්න සුරංග මට උදව් කරනවා

බොහෝ කාන්තාවන් විවාහ වුණාට පස්සෙ තමන්ගෙ රූපය ගැන දක්වන සැලකිල්ල අඩු කරනවා. නමුත් ඔබ අදත් එදා වගේමයි. මොකක්ද රහස?

මේ ප්‍රශ්නය මගෙන් ගොඩ දෙනෙක් අහනවා. මම හිතන්නෙ මගෙ කෑම රටාව වෙන්න ඇති. මම ගොඩක් කන්නෙ නැහැ. පොඩ්ඩයි කන්නෙ. ඒක පොඩි කාලෙ ඉඳන්ම මට තිබුණු පුරුද්දක්. ඒ නිසා බාබාලා හම්බෙන්න ඉද්දිවත්, ඊට පස්සෙවත් හුඟක් මහත් වුණේ නැහැ. මම මගෙ උසට හරි යන බර පවත්ව ගන්න විශේෂ මහන්සියක් ගන්නෙ නැහැ.

ඒ වගේම මම හැම තිස්සෙම සැලුන් යන කෙනෙක් නෙවෙයි. ඒත් මම ලස්සනට ඉන්න ගොඩක් කැමැතියි. ගොඩක් දෙනෙක් බැන්දට පස්සෙ හිතින් වයසට යන්නෙ. මම දැන් වයසයි. මට දැන් දරුවො ඉන්නවා. අන්න එහෙම හිතන්නෙ නැතිව අපි හිතින් හිතනවනම් අපි තරුණයි කියලා ඒ දේ අපේ රූපෙනුත් පෙනෙන්න ගන්නවා. අපි අපේ සම ගැන, නියපොතු, හිසකෙස්, ඇඳුම් පැලඳුම් ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ. ඒ දේවල් වලට සැමියත් උදව් වෙනවා. එයත් රූපෙන් තාමත් එදා වගේමයි. එයත් මං වගේම කෑම රටාවකට හුරු වූ කෙනෙක්.

කාන්තාවක් වුණාම ඉවසීම කියන කාරණය මොන තරම් වැදගත් ද?

ඇත්තටම පවුල් ජීවිතයක් සාර්ථක කරගන්න ඉවසීම කියන දේ ඉතාම වැදගත්. අපි ආදරය කරලයි විවාහ වුණේ. අපේ අදහස් කොහොමද කියලා අපි දෙන්නා තේරුම් ගත්තා. එයා කැමැති අකැමැති දේවල් මං කැමැති අකැමැති දේවල් දෙන්නට දෙන්නා තේරුම් ගත්තා. මගේ ක්ෂේත්‍රයේ ගමනට උදව් නොකරන කෙනෙක් වුණානම් මගේ ක්ෂේත්‍රයේ ජීවිතය සහ විවාහ ජීවිතයවත් සාර්ථක වෙන්නෙ නැහැ. මේ දේ විවාහ වෙන්න කලින් තේරුම් ගන්න ඕනේ. දෙදෙනා එකිනෙකා වෙනුවෙන් කැප වෙන්න ඕනෙ වගේම දෙදෙනා දෙදෙනා වෙනුවෙන් ඉවසන්න ඕනෙ. ඒ වගේම හැමදේම සාක්ච්ඡා කරලා සිදුකරන්න ඕනෙ. ඒකෙන් හොඳම අවසාන තීරණයකට එන්න පුළුවන් වෙනවා. මගෙ සැමියා ඕනෙම දෙයක් තීරණය කරන්නෙ පැති කිහිපයක් හිතලා. ඇත්තටම මමත් දැන් ඒ දේට එයාගෙන් පුරුදු වෙලා. මමත් මගෙ රසිකයන්ට කියන්නෙ තීරණයක් ගනිද්දි අනිත් පැති ගැනත් හිතන්න කියලා. දෙන්නට දෙන්නා තේරුම් අරගෙන කැප කිරීම් සිදුකරමින් ඉවසීමෙන් යන ගමනක් තමයි විවාහය කියන්නෙ.

ඔබේ ඉදිරි බලාපොරොත්තු ගැන කතා කළොත්?

මගේ පෞද්ගලික ජීවිතය පැත්තෙන් ගත්තොත් මගේ පුතාලා දෙන්නගෙ අධ්‍යාපන කටයුතුවලට උපරිමයෙන් උදව් කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නෙ. අද සමාජය වෙනස් නිසා ඒ දෙන්නගෙ පස්සෙන්ම ඉන්න වෙනවා. නමුත් අපි කැමැති දේවල් එයාල ලව්වා කරගන්නෙ නැහැ. සමහරු පුංචි කාලේ ඉඳන්ම හැමදේටම ටියුෂන් යවනවා. මේ දේ කරන්න.. අනිත් අයත් කරනවා.. ඔයා පන්තියේ පළමුවැනියා වෙන්න කියලා. අපි දරුවන්ට බලපෑම් කරන්නෙ නැහැ. එයල දෙන්නගෙ ඔළුවට ලොකු බරක් දීලා නැහැ. එයාලට ජීවිතය කියන දේ විදින්න දෙන්න ඕනෙ. එයාලව සැහැල්ලුවෙන් තමයි අධ්‍යාපන කටයුතුවලට යොමු කරවන්න ඕනෙ. අපි දෙන්නා නිතරම දරුවන්ට තනියම ජීවිතයට මුහුණදෙන විදිහ හුරු කරවනවා.

ඒ වගේම මගේ ක්ෂේත්‍රයේ වැඩ කටයුතුත් සාර්ථකව කරගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මගෙ වාසනාවකට මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණ වගේම නවක ජනප්‍රිය අය සමඟ ප්‍රසංගවලට සහභාගී වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. එහෙම මට ලැබෙන්නේ මගේ නිර්මාණවලට රසිකයන්ගේ තිබෙන කැමැත්ත නිසා.

මම ජීවිතයේ දුක් විඳපු තැන් තිබෙනවා. මම බිංදුවෙන් පටන්ගත් කෙනෙක්. අම්මයි තාත්තයි මගෙ සහෝදරයයි ජීවිතයේ දුක් විඳපු තැන් තිබෙනවා. ආර්ථික පැත්තෙන් හරි අමාරුවෙන් අධ්‍යාපන කටයුතු කළේ. නමුත් අද වන විට අපි සාර්ථක වෙලා ඉන්නවා. මම හිතන්නෙ දුෂ්කරතා මැදින් ආ ගමන තමයි ලස්සන. මේ හැමදේම සාර්ථක කරගන්න මගේ ළඟින් හිටියෙ අම්මා, තාත්තා, සහෝදරයා, මගෙ සැමියයි. මගෙ දරුවො දෙන්නත් ඉදිරියේදී මට ශක්තියක් වෙයි. ඉදිරියටත් සාර්ථක ගමනක් යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

 

ඡායාරූප අන්තර්ජාලයෙනි