සුරලොව ගිය සිත්තරාව

දරුවන්ගේ ආදරණීය සිබිල් වෙත්තසිංහ නැන්දා
ජූලි 8, 2020

ඇය දැන් සුරලොව සුරංගනාවකි. සැබැවින්ම ඒ වාසනාව ඇයට හිමි විය යුතුමය. ඒ අප සැමගේ ප්‍රාර්ථනයයි. ඇයගේ අවසන් ප්‍රාර්ථනය වූයේ ද එයමය. “මම ලෝකයක් සතුටු කළ කෙනෙක් හැටියට හිතේ ඇතිවන සතුට අප්‍රමාණයි. මට තෝරන්නේ නෑ මම මැරෙන මොහොතේ කිසිම අසතුටකින් දුකකින් මැරෙයි කියලා. මම ඉතාම සතුටින් තමයි මැරෙන්නේ. හැබැයි මට මේ ලෝකයට එන්න වාසනාව ලැබෙන්නේ නැහැ. මගේ ආත්මය අහසේ කොහේ හරි පා වෙවී තිබෙන්න කියලා තමයි මම ප්‍රාර්ථනා කරන්නේ . . .”

එම පැතුම හරිම අහිංසකය, පිවිතුරුය. යුග යුග පරම්රපරා ගණනාවක් සිය තෙළි තුඩින් ළමා සිත් සංතර්පනය කළ සිබිල් වෙත්තසිංහ මහත්මිය වසර 92 ක් ආයු විඳිමින් මෙලොවින් හැරගිය පුවත අපට මහත් සංවේගයකි. මාස තුනකට පෙර එනම් මාර්තු 18 වැනිදා අප ඇය සමඟ කළ පිළිසඳර නිසාම මට එය තදින්ම දැනෙයි. එසේම ඇය සමඟ පැය ගණනාවක් රිසි සේ පිළිසඳරේ යෙදෙන්නට ලැබුණු මොහොත මගේ මතකයට නැඟෙයි. මා සමඟ එහි ගිය ඡායාරූප ශිල්පී ටෙනිසන් එදිරිසිංහ ඇයගේ ඡායාරූප පෙළක්ම සටහන් කර ගත්තේ මහත් උනන්දුවෙනි.

“අනේ . . . මේ වගේ ෆොටෝ ග්‍රැපර් කෙනෙක් මම දැකලම නෑ. මේ වයසක මගේ පිංතූර ඔය තරම් මොකටද? දැන් මගේ කොන්දත් කඩනවා . . .” යැයි ඇය සිනහමුසු මුහුණින් යුතුව පැවසුවේ හරිම සැහැල්ලුවෙනි.

ඒ මතකය ඉතිරි කරමින් ඇය අපව හැර ගොසිනි. තමන්ටම අනන්‍ය වූ චිත්‍ර කලාවක් හා කතාන්දර කලාවක් බිහි කළ සිබිල් වෙත්තසිංහ මහත්මිය ළමා ලෝකයට එක් කළේ අපූරුවතම අත්දැකීමකි. 1928 ඔක්තෝබර් 31 දා ගාල්ලේ ගිංතොට නම් සුන්දර ගම් පියසේ උපත ලබා සිබිල් නැන්දා තම ගමට සමුදී කොළඹට එන්නේ චිත්‍ර කලාවට තිබූ කැමැත්ත නිසාමය. පුවත්පත් කලාවට බෙහෙවින් ඇලුම් කළ ඇය වයස අවුරුදු 19 දී තම මුල්ම ළමා චිත්‍ර කතා පොත ලෙස ‘කුඩ හොරා’ එළි දැක්වූයේ ඇයගේ නිර්මාණ කෞෂල්‍යය ජාත්‍යන්තරය දක්වා රැගෙන යමිනි. 1956 වසරේදී ‘කුඩ හොරා’ නිර්මාණය කළ තරුණ වෙත්තසිංහ නිර්මාණ ශිල්පිනිය ලෝකයේම දරුවන්ගේ ආදරණීය නැන්දා වූයේ එවැනිම පොත් 200 කට අධික සංඛ්‍යාවක් එදා මෙදාතුර අපට තිළිණ කරමිනි.

දුවන රැවුල, හොයිටි නම් හිවලා, කැවුම් යෝධයා, කිරිහාමි, මැටි ගෙදර ළමයි, රතු කාර් පොඩ්ඩා, සූත්තර පුංචා, තොවිල් ගෙදර, ඉබිරාළගේ ගස් නැගීම, වැනියන් කළු ආදී පොත් රාශියක් රචනා කර ඇය අප රටේ පමණක් නොව තවත් රටවල් ගණනාවකම ජනප්‍රියතම ළමා කතා ලේඛිකාවන් අතරට පැමිණියේ එම කතා බොහොමයක් වෙනත් භාෂාවන්ට පරිවර්තනය කරමිනි. චීන, කොරියානු, ජපන්, ඉංග්‍රීසි, දෙමළ, උර්දු, බෙංගාල හා ජර්මන් භාෂාව ඇතුළු තවත් භාෂා 20 කට වඩා වැඩි ප්‍රමාණයකින් ඇයගේ පොත් ළමයින් අතර ජනප්‍රියත්වයට පත් වී ඇත්තේ ඉහළම අලෙවි වාර්තාවන් ද තබමිනි.

සිබිල් වෙත්තසිංහ නැන්දා තුළ වූ ප්‍රතිභා කුසලතාවන් කිසිවකුටත් අනුකරණය කළ නොහැකි වූ කලාවකි. එය ඇයට උරුමව ඇත්තේ සහජ කුසලතාවක මහිමයෙනි. එම කුසලතාව විකසිත කරන ඇයගේ පුවත්පත් කලාව ආරම්භ වන්නේ ලංකාදීප පුවත්පතේ චිත්‍ර ශිල්පිනියක් ලෙසිනි. ඉන් පසුව ටයිම්ස් පුවත්පතේ ද සේවය කරන ඇයගේ පුවත්පත් කලාවේ හැරවුම් ලක්ෂ්‍යය සටහන් කළේ 1952 වසරේදී ලේක්හවුස් ආයතනයේ ජනතා පුවත්පතේ චිත්‍ර ශිල්පිනියක් ලෙසින් සේවයට එක්වීමත් සමඟිනි. එයින් පසු දිගු ගමනකට පියවර තබන ඇය ලැබූ ජාත්‍යන්තර සම්මාන සංඛ්‍යාව අති විශාලය. ඒ අතුරින් 2012 වසරේදී ජපානයෙන් හිමි වූ නිකෝ සම්මානය ඇයට හිමි වූ විශේෂිතම සම්මානයකි. එසේම ඇයගේ ළමා පොත් රාශියක්ම ජපන් භාෂාවෙන් ද පරිවර්තනය කිරීම සුවිශේෂිතය.

මේ සියලු සම්මානයන්ට වඩා ඇය බොහෝ සේ ඇලුම් කළ සම්මානය වූයේ පසුගිය වසරේදී ඈ ගිනස් වාර්තා පොතට එක් කළ සම්මානයයි. ලොව එකම කෘතියක් වෙනුවෙන් වැඩිම අවසාන සංඛ්‍යාවක් තැබූ එම පොත නම් කර තිබුණේ ‘ද වොන්ඩර් ක්‍රිස්ටල්’ නමිනි. පුදුම පළිඟුව නම් මෙම අපූර්වතම පොත නිර්මාණයට අපේ රටේ දරුවන් 2000 කට අධික සංඛ්‍යාවක් එක් වූ අතර සිබිල් නැන්දා නිර්මාණය කළ මෙම රසවත් කතාව අවසන් කරන්නට එම දරුවන්ට අවස්ථාව හිමි විය. දරුවන් සමඟ නිර්මාණය කළ මෙම පොත ගිනස් පොතට ඇතුළත් වීම ඇය ලැබූ ලොකුම සම්මානය හා වටිනාම සම්මානය බව එදා අපට ඇය සඳහන් කළේ මහත් සතුටු පිරි සිතිනි. ඒ ඇය ජීවිතයේ සැඳෑ සමයේ ලැබූ ඉහළම ඇගැයීම මෙන්ම එය නිර්මාණය කිරීමේදී අපේ දරුවන් දැක් වූ දක්ෂතා ගැන ඇය අප සමඟ සඳහන් කළේ මහත් සතුටිනි.

“ඇත්තටම අපේ දරුවෝ හරිම දක්ෂයි . . . ඒ අයගේ අදහස් හරිම පුදුමයි. මට හිතාගන්නත් බැහැ ඒ දරුවන්ගේ තිබෙන කුසලතාව. දරුවන්ගේ තිබෙන නිර්මාණ කුසලතාව හරියටම දකින්න හැකි වුණේ මේ නිර්මාණ තුළින්. ඒ නිසයි මේක මම ලබපු ලොකුම සම්මානය කියලා සතුටු වන්නේ.”

එදා ඇය එම සම්මානය දෑතට තුරුලු කරගෙන හැඟීම්බරව තැබූ එම සටහන බෙහෙවින්ම අර්ථාන්විතය. එම සතුට ඇය ජීවත්වන තුරාවටම හිත තුළ රඳවා තබා ගන්නට ඇතැයි මට සිතෙයි. ඒ තරමටම ඇයගේ ජීවිතය සරලය. කිසිම බාධකයක් ගැටලුවක් තමාගේ මනසේ හිර කර නොකරගෙන ඇය ජීවත් වූයේ මහත් සතුටිනි. එසේම පැපිලියාන ඩයස් පෙදෙසේ වූ ඇයගේ නිවෙස ද එලෙසින්ම සරලය. ඉතාම නිසලය. සුවිසාල මන්දිර අතරින් ඇයගේ නිවෙසට ඇසෙන්නේ පාසල් දරු දැරියන්ගේ හඬ හා සීනු නාදයයි. අද ඒ සීනු නාදය පමණක් ඉතිරිව ඇත.

ඇය නැති පාළුව අපේ දැයේ දරුවන්ට පමණක් නොව මුළු ලෝකයේම දරු දැරියන්ට දැනෙයි. . . . ඒ අදට වඩා හෙට දිනයේය. හැමවිටම ළමා ලෝකයේ ජීවත් වූ ඇය වසර 92 ක් ආයු වින්දේ ඒ සරල දිවියයි. උපන් දා සිට මිය යනතුරාම අපේත්, දරුවන්ගේත් ආදරණීය අත්තම්මා නොව නැන්දා වූ සිබිල් වෙත්තසිංහ ජ්‍යෙෂ්ඨ සිත්තරාවට නිවන් සුව පතමු!

සිබිල් වෙත්තසිංහ මහත්මියගේ ආදරණීය දූ දරුවන් වන ශෂී, කුසලා, සූරිය, විනෝද් වෙත්තසිංහ යන අයට “තරුණී” අපගේ හද පිරි ශෝකය මෙසේ පිරිනමමු.

 

 

 

ඡායා

ද ටෙනිසන් එදිරිසිංහ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 17 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.