එයා අපේ ගෙදර ආව මුල්ම දවස මට අද වගේ මතකයි

ආදරණීය බිරිය පායාතාමරී ජයසිංහ
ජූලි 8, 2020

ජාතික ලොතරැයි මණ්ඩලයේ වත්මන් සභාපති ලලිත් පියුම් පෙරේරාගේ ආදරණීය කැදැල්ල

විවිධ වූ ක්ෂේත්‍රයන්ගේ ඉහළට ම ගිය, රටට වැඩදායී පුරවැසියන් වූ පුද්ගලයන්ගේ ජීවිත අපට ආදර්ශය සපයයි. ඔවුන්ගේ සාර්ථකත්වය උදෙසා ඔවුනගේ ආදරණීයයන්ගෙන් ලැබුණු දිරිය, ශක්තිය මිල කළ නොහැකිය. ආදරය බොහෝ මිනිසුන්ගේ ජීවිතවල විවිධ වූ වෙනස්කම් සිදු කිරීමට සමත් හැඟීමකි.

විශේෂයෙන් ම ආදරය සිල්ලරට විකිණෙන අද යුගයේ ආදරණීය පවුල් ජීවිත ගෙවන, ආදරය තම ජීවිතයේ දියුණුව, ශක්තිය කරගත් සොඳුරු පුද්ගලයන්ගේ අත්දැකීම් අපට වටනේ ය. එවැනි සොඳුරු ආදරණීයයන් සොයා යන අදින් ඇරැඹෙන නවතම ලිපි පෙළයි 'ආදරණීය හෝරාව'.

අද අපි ආදරණීය හෝරාවක් ගෙවන්නට තෝරා ගත්තේ ජාතික ලොතරැයි මණ්ඩලයේ වත්මන් සභාපතිවරයා වන ලලිත් පියුම් පෙරේරාගේ ආදරණීය කැදැල්ලයි.

වෘත්තියෙන් නීතිඥයකු වන ඔහු සාගර විශ්වවිද්‍යාලයේ හිටපු අධ්‍යක්ෂජනරාල් වරයා ය. එමෙන්ම තරුණසේවා සභාවේ හිටපු සභාපතිවරයකු ද වන අතර මාධ්‍යවේදියකු ලෙස ද කටයුතුකර ඇත. ඔහුගේ ආදරණීය බිරිය පායාතාමරී ජයසිංහ යි. ඇය වෘත්තියෙන් වෛද්‍යවරියකි. මේ ඔවුන්ගේ ආදරණීය කැදැල්ලේ ගෙවූ ආදරණීය හෝරාවයි...

* පහුගිය දවස්වල ලොකු නිවාඩුවක් ලැබුණා නේද...?

අනේ ඔව්.. ඒ නිසා අපේ මහත්තයත් වැඩි වෙලාවක් ගෙදර රැඳුණා.. ඒක මට වගේම අපේ බබාලටත් ගොඩක් වටිනවා.. නැත්නම් එයා ගොඩක් කාර්යබහුල චරිතයක්නේ.. ඒ ලැබුණ නිවාඩුව කියන්න බැරි තරම් වටිනවා..

* මහත්තයා ගෙදර දී පවුලේ අය එක්ක ඉන්නකොට මොනවගේ චරිතයක් ද?

ඇත්තට ම එයා හරිම හොඳ කෙනෙක්. අපි යාළුවෙලා ඉන්නකාලේ පන්සලේ හාමුදුරුවො පවා මට කිව්වා ලලිත් මහත්තයා හරි හොඳ කෙනෙක් කියලා.. ඇත්තට ම එයාගේ නමට එයාගේ ගතිගුණත් හොඳට ගැළපුණා.. පියුම් කියන්නේ නෙළුම් මලටනේ එයත් ඒ වගේම මෘදු ගතිගුණ තියෙන කෙනෙක්.. දැන්නම් කාර්යබහුල බව නිසා ටිකක් විතර ඒ මෘදු බව අඩුවෙලා..

පායා කියන්නේ සිනා සලමිනි. ඔවුනගේ දරුවන් තිදෙනා ද ආදරණීය දරුවන් බව නොකියා ම බැරිය. දියණියන් දෙදෙනකුගේ හා පුතකුගේ මවුපියන් වන තෙක් ඔවුන් පැමිණි ගමන ගැන අසන්නට සිතේ ඇත්තේ නොඉවසිල්ලකි.

* ආයෙත් ඔහු මුණ ගැහුණු අතීතයට ගියොත්....

මට එයා මුණගැහෙන්නේ යාළුවකුගේ යාළුවෙක් විදියට.. ඉන්ටර්නෙට් එකෙන් චැට් කළා.. එතකොට මට වයස 21යි. මම විදෙස්ගත වෙලා යුරෝපීය රටක වෛද්‍ය උපාධිය හදාරමින් හිටියේ.. පියුම් හිටියෙත් මාස්ටර්ස් එකට ඉංග්ලන්ඩ් ඇවිල්ලා.. අපි ටික දවසක් ඉන්ටර්නෙට් එකෙන් චැට් කළා.. එච්චරයි. වෙන කිසිම සම්බන්ධයක් තිබුණෙ නෑ. ටික දවසකින් චැට් එකත් නැතුව අවුරුදු ගාණක් ගෙවිල ගියා..

* ඉතිං.. ප්‍රේමවන්තයෝ වුණේ කොහොමද?

එයා ටිකක් ලැජ්ජාශීලී චරිතයක්. ඒ වගේම ගෑනු ළමයින්ගේ හිත් ගන්න විදියට කතා කරන්න දන්නෙ නෑ... අපි මුලින් ම ප්‍රේමවන්තයෝ වුණේ නැත්තේ ඒ හින්දා වෙන්න ඇති. මේ අතරේ අපේ පවුලේ වැඩිමල් දරුවා මම නිසා අපේ අම්මා මට විවාහ යෝජනා සොයන්න පටන් ගත්තා.. මට ඒ එකක්වත් ගැළපුණේ නෑ..ඇත්තට ම යෝජිත විවාහයකට මගේ කැමැත්තක් තිබුණෙත් නෑ.

ආයෙත් අවුරුදු පහකට විතර පස්සේ ෆේස්බුක් එකෙන් එයාව හම්බ වුණා.. මෙයා හායි එකක් දාලා තිබුණා.. මම ඇහුවා අවුරුදු පහකට විතර කලින් චැට් කළ පියුම් ද කියලා.. එයා ඔව් කියලා කිව්වා.. ඉන් පස්සේ අපි දිගින් දිගට චැට් කළා. ඒ වෙනකොට අපි දැකලවත් නෑ.. පස්සෙ තමයි වෙබ් කැම් එකෙන් දැක්කේ.. එයා මට වඩා අවුරුදු හතරයි වැඩිමල්.. ඒත් එයාට ඒ වෙනකොටත් තට්ටේ තිබුණ නිසා මම ටිකක් බයත් වුණා.. වයස කෙනෙක්ද කියලා..

ඒ ප්‍රේමලෝකයේ සැරිසරණ ඇය මේ දේවල් පවසන්නේ සතුටිනි. ඒ සතුට අපේ සිතට දැනවීමට ද ඇය සතුව ඇත්තේ අපූරු හැකියාවකි. චිත්‍රපටයක රූප රාමු මෙන් ඔවුන්ගේ පෙම් කතාව අපේ දෑස් ඉදිරියේ මැවීමට ඇය හපනියකි.

* එතකොට මේ ඇසුරට මවුපිය කැමැත්ත ලැබුණ ද?

මම උපාධිය ඉවර වෙලා ලංකාවට ඇවිත් ඉන්න අතරේ පියුම් මාව ස'ප්‍රයිස් කරන්න නොකියම ලංකාවට ඇවිත් මාව බලන්න ආවා.. බොහොම හෙමින් තමයි අපේ සම්බන්ධය ගොඩනැගුණේ.. අපේ අම්මා ඇහුවා කාත් එක්ක ද චැට් කරන්නේ කියලා..

 

 
ඡායා -  ශාන් රූපස්සර

2020/07/08 තරුණි පුවත්පත බලන්න.