මට මගේ දරුවන්ගෙන් එහා ලෝකයක් නැහැ

ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනී නෙතලි නානායක්කාර
ඔක්තෝබර් 7, 2020

 

මීට හතළිස් වසරකට පෙර ගුවන්විදුලියෙන් ඇසුණු 'නෙතලි' යන අකුරු තුන මේ පුංචි දිවයිනේ කොතැනකින් අසන්නට ලැබුණත් ඒ කවුරුන්ද කියා විමසන්නට අවශ්‍යතාවක් නැත. ඒ එදා ඇය ගොඩනඟා ගත් ජනප්‍රියත්වය යළි කිසිදා ඇගෙන් ගිළිහුණේ නැති නිසාවෙනි.

සැබැවින්ම ඇය විස්මයකි. මන්දයත් හතළිස් පස් වසරක් වැනි දීර්ග කාලයක් පරම්පරා කිහිපයකම ආදරණීය චරිතය වන්නට සමත් වූ කලාකරුවන් සිටී නම් ඒ අතලොස්සකි. ඇය ඔවුන් අතරින් කෙනෙකි. බාල, තරුණ, වැඩිහිටි, මහලු සෑම දෙනාටම කිසිදු බේදයකින් තොරව රසය ගෙන එන නෙතලි ජනතාව අතර රැඳී සිටින්නේ ජනතාවගේ ම කලාකාරිනියක ලෙසය. ගුවන්විදුලි නාට්‍යයක් රස විඳි වැඩිහිටියාගේ පටන් කාටූන් එකක් රස විඳින කුඩා දරුවා දක්වා නෙතලිට ආදරය කරන්නේ එබැවිනි. ගුවන්විදුලි නාට්‍ය ශිල්පිනියක, රුපවාහිනී හඬකැවීම් ශිල්පිනියක හා වේදිකා, සිනමා, ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක ලෙස හතළිස් පස් වසරක් රැඳී සිටින නෙතලි වත්මන් කාන්තාවන්ට මහරු ආදර්ශයකි. ඒ ඇගේ කලා හැකියාව නිසා පමණක් නොවේ. ජනප්‍රිය කලාකරුවකුගේ බිරියක වී දරුවන් පස් දෙනකුට අම්මාව වගකීම් හා යුතුකම් ඉටුකළ කාන්තාවක් නිසාවෙනි. කලාවට අමතරව තිස් වසරක වෘත්තීය දිවියකට ද උරුමකම් කියන්නියකි. මනා කළමනාකරණයක් ඇති ගැහැනියකට හැර එවන් ජීවිතයක් ලෙහෙසි පහසු නැත. අපට විස්මයක් හා ආදර්ශයක් වූ කාන්තාවක වන නෙතලි අද ද මඟ තොටේදී අතිශය සරල ලෙස ඇවිද යනු ඔබට හමුවනු ඇත. වෙනස එයයි. ඔබ ඇයට ළංව විමසුවහොත් සාර්ථකත්වයේ රහස ද මේ සරලත්වයම බව ඇය ඔබට පවසනු ඇත.

ගිරිදේවි ටෙළි නාට්‍යයේ සීතම්මාට නේද මේ දවස්වල වැඩියම ආදරය හිමිවෙන්නෙ

ඔව්. ආශා මගේ දුවගෙ දුවනෙ. මොනතරම් කරදර මට දුන්නත් අම්මාගෙන් වියයුතු හැම දෙයක්ම මම මිනිපිරිය වෙනුවෙන් කරන්නෙ පුදුම කරුණාවකින්. ඉවසීමකින්. මේ තමයි අම්මලා ළඟ දරුවට තියෙන ආදරේ. අම්මා කෙනෙක් කියන්නෙ දරුවො කොච්චර වැරැදි කළත්, මොනතරම් රිද්දුවත් අඩුනොකර දරුවන්ට ආදරේ දෙන කෙනෙක්.

හැබෑ දිවියෙත් නෙතලි මේ තරම් ම මවු සෙනෙහස පුදන කෙනෙක් නේද?

අනේ අම්මෝ ඔව්. මට මගේ දරුවන්ගෙන් එහා නම් ලෝකයක් නැහැ. මට දරවො පස් දෙනෙක් ඉන්නව පුතයි දුවල හතර දෙනයි.ලොකු දුව රේණුකා. දෙවැනියා ශාමිකා. තුන්වැනියා පුතා රවී. හතරවැනියා චන්දිකා සහ පස්වැනියා ඉන්දිකා. මේ දෙන්නා නිවුන්නු. මේ පස් දෙනාටම මම එක සමානව ආදරෙයි. දැන් මගේ දරුවන්ටත් දරුවො ඉන්නව පහුගිය සතියෙ මගේ පොඩි දුවගෙ දුවට දරුවෙක් ලැබුණා. එයාල ජර්මනියෙ පදිංචි වෙලා ඉන්නෙ. දැන් මම මී මිත්තනියක්. ඒ ගැනත් මම ලොකු සතුටකින් ඉන්නෙ.

අපි ඔබ ජීවිතය ආරම්භ කළ තැනට යමුද?

අපි පොඩිකාලෙ හිටියෙ මාකොළ. අම්මයි තාත්තයි පමුණුවිල රෝමානු කතෝලික පාසලට තමයි මාව මුලින්ම ඇතුළු කළේ වයස 13 දී මම එස්. එස්. සී. පාස් වුණා ඒකෙන් මට ඩබල් ප්‍රමෝෂන් එකක් ලැබුණා කැලණියෙ ගුරුකුළ විද්‍යාලයට ඇතුළු වෙලා ඉංග්‍රීසි භාෂාවෙන් එස්. එස්. සී. විභාගයට පෙනී හිටින්න. මම සිංහල මාධ්‍යයෙන් වගේම ඉංග්‍රීසි මාධ්‍යයෙන් එස්. එස්. සී. විභාගෙ සමත් කෙනෙක් විදිහටයි පාසල් අධ්‍යාපනය හමාර කළේ.

ඔබ පාසලේදී ඉගෙන ගන්න වගේම කලාවටත් දක්ෂතා පෙන්නුවද?

ඔව්. පාසල් කාලෙ මම හරි දක්ෂයි. ඉස්කෝලෙ නාට්‍ය එහෙමත් කළා. ඒ හැකියාවන් නිසා 1955දී මට රේඩියෝ සිලෝන් එකේ හඬ පරීක්ෂණයකට ඉදිරිපත් වෙන්න අවස්ථාව ලැබුණා. මම දක්ෂ ලෙස පාසලේ නාට්‍ය කරනව දැකල එච්. ජී. විජේදාස මහත්මයයි මාව මේ පරීක්ෂණයට ඉදිරිපත් කළේ.

ඒ හඬ පරීක්ෂණය තරගකාරී මට්ටමක තිබුණ එකක්ද?

පස්සෙ කාලෙක ගුවන් විදුලියෙ, සිනමාවෙ, රුපවාහිනියෙ ජනප්‍රිය වුණ රත්නාවලී නැකුණවල, වික්ටර් මිගෙල්, ඇග්නස් සිරිසේන, චිත්‍රා වාකිෂ්ට, ප්‍රේමා විජේවර්ධන යන අය ඇතුළු පිරිසක් එදා පරීක්ෂණයට ඉදිරිපත් වෙන්න ඇවිත් හිටියා.

වෙනස් නමක් වූ නෙතලි කියන නමත් ඔබට වාසනාව ගෙනාව නේද?

මම ඉපදුණේ නත්තල් මාසෙ 26 වැනිදාවක. අපේ පවුල බොහොම භක්තිමත් කතෝලිකයො. ඉතින් නත්තල් මාසෙ ඉපදුණු නිසා නත්තල කියන අරුත දෙන නැතලි කියන නම තියල තියෙනව. මගේ මුල් නම නැතලි ලියනගේ. පස්සෙ කාලෙක තමයි නැතලි නෙතලි වුණේ. මේ නම මිනිස්සුන්ට ඉක්මනින් මතක හිටින නමක් වුණා.

 

 

ඡායා  -  නිශ්ශංක විජේරත්න