කහ ප්‍රයෝජනයට ගන්නා පහසු ම ක්‍රමය

කුඩුවලට වඩා ඵලදායී කහ පල්පය හදා ගනිමු
පෙබරවාරි 3, 2021

කෘෂි කාර්මික දිවි පෙවෙතකට හුරුපුරුදුව සිටි අතීත ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත බෙහෙවින්ම සරලය. තම පවුලේ එදිනෙදා පරිභෝජනය සඳහා අවශ්‍ය වී ටික කුඹුරෙන් ලබාගත් ඔව්හු එළවළු, පලතුරු, පලා, අල ආදිය ගෙවත්තේම වගා කළහ.

එපමණක් නොව ආහාර වේල රසවත් කරනා ගම්මිරිස්, කුරුඳුපොතු, කහ, කරාබුනැටි ආදී කුළුබඩු පවා තමන්ට අවශ්‍ය පරිදි ගෙමිදුලේම සිටුවා ගන්නටත් අමතක නොකළහ. එබැවින් වස විසෙන් තොර පිරිසුදු, පෝෂ්‍යදායි ආහාර වේලක රසය බලන්නටත්, එමඟින් නිරෝගී දිවි පෙවෙතක් ගත කරන්නටත් ඔව්හු වාසනාවන්ත වූහ.

කොරෝනා වසංගතයත් සමඟම බොහෝ දෙනකුට සිය නිවෙස්වලටම කොටු වන්නට සිදුවූ අතර ලැබුණු නිවාඩුව ඵලදායි අන්දමින් ගතකරන්නටත් අපේ අය අමතක නොකළහ. තිබෙන පුංචි ඉඩකඩෙහි පවා ප්‍රයෝජනවත් යමක් සිටුවාගත් අතර එහිදී කහ වගාවට වැඩි ඉඩක් යොමු කළහ. මන්ද කුළුබඩුවක් සේම විසබීජ නසන ඖෂධයක් ද වූ කහ පසුගිය කාල වකවානුවේ වෙළෙඳපොළේ හිඟ වූ අතර ඒ නිසාම අධික මිලක් ද නියම විය. එසේ සිටුවාගත් කහ වගාවේ අස්වැන්න නෙළාගන්නා කාලවකවානුවයි මේ. එනම් කහ අල උදුරා පරිභෝජනයට අවශ්‍ය පරිදි සකසා ගන්නා සමයයි. මෙලෙස ගලවාගත් කහ අස්වැන්න පරිභෝජනයට ගත හැකි ක්‍රම කිහිපයකි. එයින් එක් ක්‍රමයකි කහ කුඩු ලෙසින් සැකසීම. අතීතයේ දී අද මෙන් කහ කුඩු දක්නට නොලැබුණු අතර තම්බා වියළාගත් කහ අඹරා පාවිච්චියට ගත්හ. මුළුතැන්ගෙය තුළට විවිධ යන්ත්‍ර සූත්‍ර පැමිණීමත් සමඟම ඇඹරුම්ගලට සමුදුන් අපේ ගෘහණියෝ කහ කුඩු භාවිතයට හුරුපුරුදු වූහ.

සාමාන්‍යයෙන් කහ කුඩු සැකසීම සඳහා කහ හොඳින් වියළා ගතයුතුයි. මෙලෙස කහ වියළා ගැනීමට හේතු කිහිපයකි. එනම්,

  1.  කහ අස්වැන්න නෙළා ගන්නේ වසරේ නිශ්චිත කාලවකවානුවක් තුළදීය. නමුත් ලැබෙන අස්වැන්න වසර පුරාම භාවිතයට ගැනීමට නම් කල් තබා ගැනීම කළ යුතුය. එබැවින් කල්තබාගත හැකි පහසුම ක්‍රමය වන්නේ කහ තම්බා හොඳින් වියළා ගැනීමයි.
  2.  මෙම තම්බා වියළා ගැනීම වූකලී සම්ප්‍රදායික ක්‍රමයයි. නමුත් එය ඉතා සරල පහසු ක්‍රියාවකි.
  3.  කල්තබා ගැනීමේ ද්‍රව්‍ය යෙදිය යුතු නොවේ.

අවාසිය

කහ වියළන විට අපට ඇතිවන ප්‍රධානතම ගැටලුව වන්නේ ප්‍රමාණය අඩුවීමයි.

එනම් වියළි කහ කිලෝග්‍රෑම් 01 ක් සකසා ගැනීමට අමු කහ අල කිලෝග්‍රෑම් 06 ක් පමණ අවශ්‍ය වේ.

එය වළකා ගැනීමේ හොඳම ක්‍රමය වන්නේ කහ පල්පය සෑදීමයි.

මෙවැනි කහ හිඟ කාලවකවානුවලදී එය කදිම විසඳුමක් වන අතර වියළා ගැනීමේ දී තරම් වැඩි කාලයක් ගත කිරීමට ද අවශ්‍ය නොවේ.

නමුත් කහ පල්ප සෑදීමේ දී ඉතාමත් සෞඛ්‍යාරක්ෂිතව එය කළ යුතු අතර එසේ නොවුවහොත් ඔබේ වටිනා කහ අස්වැන්න අපතේ යා හැකියි.

එබැවින් නිවැරැදි කහ පල්පය සැකසීම පිළිබඳ ඔබ දැනුවත් විය යුතුය.

කහ පල්පය සැකසීම

කහ අස්වැන්න ගලවා පැය 24 ත් 48 ත් අතර කාලයේ, එනම් දින දෙකක් ඇතුළත කහ පල්පය සකසා ගතයුතුය. එමඟින් වඩාත් සාර්ථක වර්ණයක් සහිත කහ පල්පයක් සකසා ගත හැකිය.

 

පල්පය සකසා ගන්නේ මෙහෙමයි

  •  හොඳින් මෝරනලද කහ අල (සිටුවා මාස නවයක් ගතවූ පසුව ගලවා ගන්නා අල) පස් ඉවත්කර මුල් කපාගන්න.
  •  මව් අල සහ ඇඟිලි අල වෙන් කරගන්න.
  •  කහ අල මතුපිට තැවරුණු වැලි සහ මඩ ඉවත් වනතුරා හොඳින් අතුල්ලා සෝදා පිරිසුදු කරන්න. මෙහිදී අලයේ පිට පොත්තෙහි තැඹිලි පැහැය මතුවනතුරා පිරිසුදු කරගත යුතුය.
  •  තරමක් විශාල මව් අල දිග් අතට දෙකට පළාගන්න.
  •  දැන් මව් අල සහ ඇඟිලි අල සියල්ල බඳුනකට දමා හොඳින් තම්බාගන්න.
  •  කහ තැම්බීමේ දී ඔබට මෙහි දැක්වෙන එක් ක්‍රමයක් අනුගමනය කළ හැකියි.

 

1. නටන ජලයේ ගිල්වා විනාඩි 30 ක් තැම්බීම.

2. ස්ටීමරයක දමා විනාඩි 20 ක් තැම්බීම.

3. ප්‍රෙෂර් කුකරයක විනාඩි 15 ක් තැම්බීම.

 

  •  කහ හොඳින් තැම්බුණුවිට අලයක් කඩා බැලීමේදී නූල් ඇදෙන ස්වභාවයක් දැකිය හැකියි.
  •  තැම්බුණු කහ කිලෝග්‍රෑම් එකක් සඳහා ලුණු කුඩු ග්‍රෑම් 100 ක්, සිට්රික් අම්ලය ග්‍රෑම් 02ක් සහ ජලය මිලිලීටර් 100 ක් යොදන්න.
  •  කුඩා ප්‍රමාණයක් නම් බ්ලෙන්ඩරයක් ආධාරයෙන් ඉතා සියුම්ව අඹරාගන්න. (මහා පරිමාණයෙන් සිදු කරන්නේ නම් ඇඹරීම සඳහා පල්ප යන්ත්‍රයක් යොදා ගත යුතුය.
  •  මෙලෙස සකසා ගත් කහ පල්ප ළිප තබා මඳගින්නේ හොඳින් හැඳිගාමින් විනාඩි 10 ක් පමණ රත් කරගන්න.
  •  ඉන්පසු ළිපෙන් බා අවශ්‍ය අනුමත ආහාර කල්තබා ගැනීම ද්‍රව්‍යයක් එකතුකර ජීවානුහරණය කළ බෝතල්වල අසුරන්න.
  •  ඔබට ස්වයං රැකියාවක් ලෙසින් කහ පල්පය සකසා බෝතල් කර වෙළෙඳපොළට ද නිකුත් කළ හැකියි.

 

 

උපදෙස් - අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ, මාතලේ මධ්‍යම පර්යේෂණ මධ්‍යස්ථානයේ,

පසු අස්වනු තාක්ෂණ අංශයේ

නියෝජ්‍ය අධ්‍යක්ෂ (පර්යේෂණ)

අංශ ප්‍රධාන

තුෂාරි ලියනගේ

 

ඡායාරූප -  ලසන්ත අබේරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.