බිම් පණුවන්ගෙන් කොම්පෝස්ට් පොහොර නිපදවා ගනිමු

පණු පොහොර නිපදවීමට යොදාගත යුත්තේ පස මතුපිට වෙසෙනා රතු පැහැ පණුවන්ය
ජූලි 7, 2021

 

කාබනික පොහොර යනු මොනවාදැයි අසන්නකුට කොම්පෝස්ට් වශයෙන් තනි වචනයකින් පිළිතුරක් ලැබෙන තරමට කාබනික පොහොර හා කොම්පෝස්ට් එකිනෙක බද්ධ වී තිබේ.

එහෙත් අප අඩුවෙන් දන්නා, පහසුවෙන් ගෙදරදොරේ දී වුවත් සාදාගත හැකි කාබනික පොහොර ගණනාවක් තිබෙන බව අමතක නොකළ යුතුය. අද අප සාකච්ඡා කරන්නේ ඉන් එකක් පිළිබඳවය. මුළුතැන්ගෙයින්, ගොවිපොළෙන්, වෙළෙඳපොළෙන් පරිසරයට මුදාහරින කාබනික කසළ, බිම්පණුවාගේ (ගැඩවිල් පණුවාගේ) බඩවැල තුළින් යවා පෝෂණ ද්‍රව්‍යයන්ගෙන් පොහොසත් ‘පණු පොහොර’ නොහොත් ‘පණු කොම්පෝස්ට්’ නමැති ද්‍රව්‍යයක් සාදාගැනීම මෙහි සරල අර්ථයයි. සරලව ඇඹරෙමින් බඩවැල තුළින් යනවා පමණක් නොව ඒ තුළදී කසළවලට ලොකු වෙනසක් සිදුවෙන බවද පෙනෙන්නට තිබේ. සත්‍ය යාන්ත්‍රණය හරියටම දන්නේ බිම්පණුවා පමණි. ලොවපුරා විද්වතුන් අඳුරේ අතපතගාමින් උපකල්පන බිහිකරනවා මිස, පණුවා අනුභව කළ කසළ වලට බඩවැල තුළදී සිදුවෙන දෑ නිවැරැදිව ඉදිරිපත් කරන්නට තවමත් සම්පූර්ණ දත්ත ගොනුවක් ඉදිරිපත් කර නැත.

සාමාන්‍ය කොම්පෝස්ට් සාදන ක්‍රියාවලියට වඩා වේගවත්ව සිදුවෙන මෙම පණු පොහොර නිෂ්පාදනයේදී පණුවා තුළින් පිටවෙන ද්‍රව්‍යයන්ගේ ක්ෂුද්‍රජීවී ක්‍රියාකාරිත්වය වැඩිය. ශාක වර්ධක උත්තේජක ද අන්තර්ගතය. පලිබෝධ විකර්ෂක ද්‍රව්‍යයන්ගෙන් ද පොහොසත්ය. ඇතැම් විස්තරවල පෙන්වාදී ඇති පරිදි කසළ වලින් ‘රත්තරන්’ නිපදවීමේ ජෛව රස විද්‍යාවක් සේ ද මෙම ක්‍රියාවලිය හඳුන්වාදී තිබේ. ඉන්දියාව වැනි රටවල සාර්ථක ශාක පෝෂණ වැඩසටහනක් ලෙස මෙය ඉදිරියට පැමිණ තිබුණද, අපගේ ගොවිතැනෙහිදී පණු පොහොර වලට තවමත් එතරම් තැනක් ලැබී තිබෙන බවක් නම් පෙනෙන්නට නොතිබේ.

ෙකාම්ෙපාස් සැදීම අතරමඟ නවතින්නේ ඇයි ?

කොම්පෝස්ට් පොහොර නිපදවීම පිළිවෙළකට කළ යුතු ක්‍රියාවලියකි. දිරන ද්‍රව්‍ය එකතුවෙහි උණුසුම, තෙතමනය ආදිය ක්‍රමවත්ව පාලනය නොකළහොත් එය කුණුවී ගඳ ගසන්නට පටන්ගනී. බොහෝ දෙනා කොම්පෝස්ට් හදන්නට ගොස් අතරමගදී වැඩේ අතහරින්නේ මේ ආකාරයට නිසි අවධානයකින්, දිරන ‘කුණු ගොඩට’ සලකන්නේ නැති නිසාය. නමුත් නිසි උපදේශයන් යටතේ කොම්පෝස්ට් සෑදීමට විවේකයක් හා ඉඩ පහසුවක් නැති අයකුට, පණු පොහොර තාක්ෂණය හරහා ගෘහස්ථ මට්ටමෙන් සාර්ථක කොම්පෝස්ට් නිෂ්පාදනයක් කළ හැකිවීම මෙම තාක්ෂණයේ තවත් වටිනාකමකි. ලංකාවේ කසල වලින් 61% ක් පමණ කාබනික සම්භවයක් සහිත පහසුවෙන් දිරා යන කසළ බව හඳුනාගෙන ඇති අතර එයින් 40% ක් වැනි ප්‍රමාණයක් ඉවත ලෑම සඳහා ජනතාව විසින් රජයට භාරදෙනු ලබයි. නිවෙස් වලින් භාරදෙන මේ කසළ අතර වැඩිපුරම ඇත්තේ ආහාර කසළ සේ හඳුන්වන මුළුතැන්ගෙයින් පිටවෙන අපද්‍රව්‍යයයි. බිම් පණුවාට මෙය හොඳ ආහාරයකි. ඔවුන්ගේ ආහාර මාර්ගය තුළදී මෙම ආහාර මනාව අඹරා, ජීර්ණය කර අවශ්‍ය දෑ සිරුරට උරාගන්නා අතර ඉතිරිය පණුවාගේ මල ද්‍රව්‍ය ලෙස පිටවේ. කොම්පෝස්ට් ලෙස යම් දිනකට පසුව අප හඳුනාගන්නේ මේවාය. පණුවන් නිසා පසට ව්‍යුහාත්මක ස්ථායීතාවයක් ලබාදෙන අතර, වාතනය, ජලය රඳාගැනීමේ හැකියාව ආදියද දියුණු වේ. 1994 දී සිදුකර ඇති පර්යේෂණ වාරතාවක සඳහන් වන්නේ සාමාන්‍ය කොම්පෝස්ට් වල අන්තර්ගත නයිට්‍රේට්, නයිට්‍රජන් ප්‍රමාණය මෙන් හය ගුණයකින් වැඩි නයිට්‍රේට් සාන්ද්‍රණයක් පණු පොහොර තුළ අන්තර්ගත බවයි.

ගෙදරදී පණු පොහොර හදන ක්‍රමය

මුළුතැන්ගෙයින් බිහිවෙන කසළ ඉතා පහසුවෙන් පණු කොම්පෝස්ට් බවට පත්කළ හැකිවේ. පණුවන් සහිත බඳුන ගේ ඇතුළේම තබාගැනීමට ද පුළුවන. මේ සතුන් ඉර එළිය හමුවට නොඑන නිසා බඳුන ගෙය තුළ තිබුණත් පණුවන් ඉන් පිටතට ඇවිත් අවට සැරිසරාවි යයි සිතිය යුතු නැත. කෑම පිඟන් වල ඉතිරිවෙන දෑ, එළවළු පිසීමේදී ඉවත් කරන ද්‍රව්‍ය ආදී සියල්ලම පණුවන්ට කෑම පිණිස මේ බඳුනට දැමිය හැකියි. මාළු කටු, කුළුබඩු යහමින් යොදා සෑදූ ව්‍යංජන ආදිය දැමීම නුසුදුසු වන්නේ පණුවන්ගේ පැවැත්මට ඒවා අහිතකර වන බැවිනි. බිත්තර කටු වුවත් දැමිය යුත්තේ කුඩු කිරීමෙන් පමණය. එහෙත් මස්, තෙල් සහිත ආහාර, දෙහි සුදුලූනු වැනි සැර ද්‍රව්‍ය දැමුවහොත් පණුවන් මැරීයයි. එළිමහනේ ඇති බඳුනක් නම්, ගොම, අතුගා එකතුකරන රොඩුබොඩු වුවද පණුවන්ගේ ආහාර වන බැවින් ඒවාද දැමිය හැකිය.

මුළුතැන්ගෙයි අපද්‍රව්‍ය සාමාන්‍ය ක්‍රමයට කොම්පෝස්ට් බවට පත්කරන්නට යාමේදී දිරායාම වෙනුවට කුණුවීමට මෙම ක්‍රමවේදය හරහා ඇත්තේ අල්ප ඉඩකි. එනම් කසල ද්‍රව්‍ය කුණුවීමට කලින් පණුවන් ඒවා ආහාරයට ගන්න නිසාය.

නිතර පණුවන් සොයා ගැනීමට නොහැකිනම්, අඟල් 3-4 ක මතුපිට පස් තට්ටුවක් කසළ බඳුනේ පතුලට දමා එයට පණුවන් එකතු කර කටයුතු ඇරැඹිය හැකිවේ. එම පස් තට්ටුව අවශ්‍යවන්නේ පණුවන් බෝ කිරීමටයි. කුස්සියේ ඉතිරිය දැන් දමන්නේ මේ පස් මතටයි. සිටිනා පණුවන් සංඛ්‍යාව හා එකතුකරන ද්‍රව්‍යයන්ගේ ස්වභාවය මත කොම්පෝස්ට් සෑදීමට ගතවන කාලය තීරණය වන අතර සියල්ල යහපත් නම් එය සති කීපයක් තුළ සිදුවේවි. පතුලේ ඇති පස් තට්ටුව කළඹන්නේ නැතිව මතුපිට නිපදවී ඇති කොම්පෝස්ට් ඉවත් කරගෙන අලුත් කසළ පිරවිය හැකිය.

තරමක් විශාල ප්‍රමාණයෙන් එළිමහනේ දී මෙය කරනවානම් පණුවන්ගෙන් වෙන්කරලා පණු පොහොර ටික වෙන්කර ගැනීමේ පහසුම ක්‍රමය වන්නේ සම්පූර්ණ මිශ්‍රණයම අඟල් කීපයක් ඝනකමට අව්වේ ඇතිරීමයි. එවිට පණුවන් සියල්ල ඉර එළිය දරාගැනීමට අකැමැතිව පහළට සංක්‍රමණය වන නිසා මතුපිට ඇති අඟල් දෙකක පමණ පස් තීරුවක් ඉවත්කර ගතහැකිවේ. මේ ක්‍රියාවලිය නැවත නැවතත් කළ හැකියි. එසේ නැත්නම් කොම්පෝස්ට් ගන්නා දිනට දින තුනකට පමණ පෙර මිශ්‍රණයට ජලය යෙදීම නතර කරලා, තරමක් වේළෙන්න ඉඩහැර, දැලකින් හළා පණුවන් රහිත කොම්පෝස්ට් වෙන්කර ගත හැකිවේ. පණුවන් ටික නැවතත් බඳුනට දැමිය හැකියි. නමුත් දැලකින් හැලීම වැනි ක්‍රියාවකදී පණුවන්ට හානිවීමේ හැකියාවක් තිබෙන නිසා වඩාත් ප්‍රවේසම් විය යුතුයි.

පණු පොහොර නිපදවීමට යොදාගත යුත්තේ පස මතුපිට වෙසෙනා රතු පැහැ පණුවන්ය. වීදුරු තහඩුවක් මත තැබූවිට ආලෝකය විනිවිද යන මොවුන්ගේ සිරුර තුළ දිවෙන කොළ පැහැ රේඛා දෙකක් මගින් මොවුන් පහසුවෙන් හඳුනාගත හැකිවේ. මීට අමතරව පොළොවේ තරමක් ගැඹුරේ වෙසෙන ගැඩවිලුන් හෝ හොඳටම ගැඹුරේ සිටින අඩි කීපයක් දිග විශාල බිම්පණුවන් වැනි සතුන් පණු පොහොර නිෂ්පාදනයට යොදාගත නොහැකිය.

 

 

උපදෙස්
සනත්එම්. බණ්ඩාර
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ,
ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය,
ගන්නොරුව, පේරාදෙණිය