ගෙවතු වගාවත් දැන් අනාගත ආයෝජනයක්

අප්‍රේල් 8, 2020

කොරෝනා වසංගතය නිසා වර්තමානයේ අපි හැමෝම නිවෙස් තුළටම එක්‍ රොක් වෙලා. ඇත්තටම කිව්වොත් අවිනිශ්චිත කාලවකවානුවක් වුණත් මෙය බොහෝදෙනකුට ප්‍රයෝජනවත් කාල පරිච්චේදයක් බවට පත්කරගැනීම එතරම් අපහසුවක් නැහැ. තවත් විදියකට කියනවානම් මේක වෙස්වළාගත් ආශීර්වාදයක්දෝ කියලා වෙලාවකට හිතෙනවා.

මම එහෙම හිතන්නේ මේ දවස් කිහිපය අපේ පුංචි පැටවුන්ට නම් හරිම විනෝදාත්මක කාලයක් නිසාමයි. විභාග, ටියුෂන්, විවිධ තරග ආදී වැඩ කටයුතුවලින් මිදිලා විශේෂයෙන්ම අම්මයි, තාත්තයි එක්ක සන්තෝෂයෙන් නිවෙසට වෙලා ගතකරන කාලයක් මේ.

ඉතිං එහෙම ගෙදරට වෙලා ගතකරන කාලය ඵලදායී විදියට ගතකරනවා නම් ඒක හරිම අපූරුයි. පතපොතේ කටයුතු මෙන්ම තමන්ගෙ ගෙවත්තේ වගා කටයුතු ආරම්භ කරන්නත් මේක හොඳම කාලයක්. තමන්ගේ ගෙවත්තට අයිති පුංචි ඉඩකඩෙහි වුණත් එදිනෙදා ප්‍රයෝජනයට ගන්නා ගහක් දෙකක් වවාගෙන තිබුණා නම් මේ දවස්වල එහි ප්‍රතිඵල හරි අපූරුවට භුක්ති විඳීන්න තිබුණා.

ගෙවත්තක් තියා කුඩා ඉඩකඩක් හෝ නොමැති තට්ටු නිවාසවල ජීවත්වන පුද්ගලයන්ට පවා විවිධ ආකාරයට වහා කළහැකි ක්‍රම බොහෝමයි. විශේෂයෙන්ම මේ දිනවල අන්තර්ජාලය තුළ සැරිසරන කෙනකුට නම් එවැනි ජායාරූප, විවිධ රූපසටහන් විතරක් නොවෙයි වහා ක්‍රම පිළිබඳ පුංචි පුංචි වීඩියෝ එහෙමත් නරඹන්න හැකියාව තිබෙනවා.

ඔබ නොසිතා ඉවතලන විවිධ ද්‍රව්‍ය මේ වගාවට උපයෝගී කරගන්න පුළුවන්. බලන්න ඔබ භාවිතයෙන් ඉවතලන බීම බෝතල් වගාවට යොදාගත හැකි ආකාරය.

මේ බෝතල් මැද්දෙන් කොටසක් ඉවත්කර ඊට පස් පුරවා වහාවට යොදාගත හැකියි. ඊට අමතරව බෝතලය කොටස් දෙකකට වෙන්කර ඒවාටද පස් පුරවා වගාවට යොදාගත හැකි ආකාරය ඔබට මෙහිදී පෙනේවි.

තට්ටු නිවාසයක හෝ නිවාස සංකීර්ණයක ජීවත්වන පුද්ගලයකුට වුවද මේ විදියට ඉතාමත් ක්‍රමානුකූලව වගාවේ යෙදිය හැකියි. තාප්පය, කුඩා කොරිඩෝව, පිටත බිත්ති ආදියෙහි මෙහි දැක්වෙන ආකාරයට බෝතල් රඳවාගන්න.

එමෙන්ම මෙවැනි වගාවකදී ඉතාමත් පහසුවෙන් වැවෙන සැහැල්ලු වගාවන් තෝරාගැනීමට ඔබ වගබලාගන්න. මන්ද විශාල වශයෙන් මුල් ඇදීයන, විශාලව වැඩෙන ශාක මෙවැනි බෝතල් වගාවකට ඔරොත්තු නොදෙන බැවින් සලාද, කන්කුන්, මුකුණුවැන්න, මිංචි, කොත්තමල්ලි, ගොටුකොළ වැනි දේවල් මේ විදියට වවාගන්න පුළුවන්. ඊට අමතරව තක්කාලි, රාබු, ගෝවා, බීට්, ලීක්ස්, බී ලූනු වැනි දේවලුත් මේ බෝතල්වල අපූරුවට අස්සැන්න ලබාදෙනවා. සීමිත ජල ප්‍රමාණයක් මෙන්ම ඔබේ මුළුතැන්ගෙයින් ඉවතලන දිරායන කුණු කසල මේ බඳුන්වලට පොහොර ලෙස පාවිච්චි කරන්න. එවිට කුණු ඉවත්කිරීමේ ගැටලුවටත් ඉබේම පිළිතුරක් ලැබේවි.

ඡායාරූප අන්තර්ජාලය ඇසුරිනි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.