ඉඩක් නැති අයටත් වවන්න පුළුවන්

ලූනු සහ ලීක්ස් මේ විදියට වවමු
අප්‍රේල් 15, 2020

අඩු ඉඩකඩ තුළ තමන්ට අත්‍යවශ්‍ය දේවල් කිහිපයක් හෝ වගාකිරීම මේ දිනවල බොහෝදෙනකුගේ කතාබහට යොමුවන කාරණාවක් වෙලා.ඇත්තටම ඒ කාරණාව කතාබහට පමණක් සීමා නොකොට ක්‍රියාවේ යොදවන්නත් වැඩිදෙනකු ගන්නා උත්සාහය මුහුණු පොත හරහා අපි අත් දකින්නෙමු.

ඉතින් විවිධ බීජ වර්ග ඔබට මේ වෙලාවේ සපයාගන්න නොහැකි වුවත් නිවෙසේම තිබෙන ඇතැම් බීජවලින් කුඩාවට හෝ වගාවක් කළහොත් එයත් ඉතිරියක් නේද?

විශේෂයෙන්ම බී ලූනු, රතු ලූනු, සුදුලූනු, ලීක්ස්, අර්තාපල් වැනි දේවල් මුළුතැන්ගෙය තුළදීම මුල් සහ පත්‍ර හටගන්නා ආකාරය ඔබ අත්දැක ඇති. ඉතින් ඒවායින් ඔබට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් නේද?

මුල් හටගත් ඒවා නොවුණත් ලූනු වර්ග නම් පසට යටකිරීම හරහා අපූරු වගාවක් සකසා ගතහැකියි. මුළුතැන්ගෙය තුළ නැතිවම බැරි රසකාරකයක් වූ මේ ලූනු දිරාපත් කොම්පෝස්ට් මිශ්‍ර පසෙහි හොඳ ඵලදාවක් ලබාදේවි.

මෙහිදී ඔබට ගෙවත්තක් නොමැති නම් බඳුන්ගත වගාවක් ලෙසින් ලූනු වගා කළ හැකි අතර ආදායමක් ලබාගන්නා වගාවක් ලෙස පාත්ති තුළද සිටුවිය හැකියි.

 

පාත්තියක වගාව

ඔබ පාත්තියක ලූනු සිටුවීමට අදහස් කරන්නේ නම් බුරුල් කරගත් මතුපිට පසට කොම්පෝස්ට් මිශ්‍ර කරන්න. අනතුරුව සමතලා කරගත් පාත්තිය මත අවශ්‍ය පමණට පරතරය තබමින් සිදුරු සකසා ඒ මත සුදුලූනු බික් හෝ බී ලූනු නම් එහි මුල් ඇදෙන කොටස ඉහළට සිටින සේ රඳවාගන්න. දිනකට වරක් ජලය යොදන්න.මාස හතරක් පමණ වනවිට ලූනු පත්‍ර කඩා වැටී දුඹුරු පැහැයට හැරේවි. එවිට බීජ ගලවා හිරුඑළියෙන් තොරව මඳ පවනේ දින කිහිපයක් වියළා ගන්න.

බඳුන්ගත වගාව

එදිනෙදා භාවිතයෙන් ඉවත් කරන විවිධ බෝතල්, බඳුන්, හට්ටි වැනි දෑ මේ සඳහා භාවිත කළ හැකියි. ඔබ තට්ටු නිවාසයක ජීවත් වුවත් පිටත කෝරිඩෝවක පවා මෙවැනි බඳුන්ගත ගස් කිහිපයක් වගාකරගන්න.

එහිදී පළමුව ලූනු බීජ මුල් ඇදීමට තබා බඳුන්ගත කිරීමෙන් වඩාත් පහසුවෙන් වැවිය හැකියි. සාමාන්‍යයෙන් බඳුන්ගතව වැවූ ලූනු නම් සති තුනක් පමණ ගත වනවිට (ලූනු පත්‍ර) ඔබට ආහාරය සඳහා යොදාගත හැකියි.

 

ලීක්ස් වවමු

ඔබ භාවිතයට ගන්නා ලීක්ස් ගසෙහි මුල් සහිත සුදු පැහැ කොටස ඉවත දමන්නේ එය භාවිතයට ගත නොහැකි නිසයි. හැබැයි මේ කොටස ඔබ පැළ කළහොත් සරුසාර ලීක්ස් ගසක් වවාගත හැකිබව ඔබ කවදාවත් සිතා නැහැ නේද? එහෙමනම් අද පටන් ඔබ නිවෙසට රැගෙන එන ලීක්ස් ගසෙහි සුදු පැහැති කොටස ගෙවත්තේ පාත්තියක හෝ බඳුනක සිටුවන්න. මෙහිදීද කපාගත් ලීක්ස් කොටස් ජලය දැමූ බඳුනක බහාදින දින කිහිපයක් තැබීමෙන් මුල් අද්දවාගත හැකියි. අනතුරුව වගාබිමක හෝ කොම්පෝස්ට් මිශ්‍ර පස් සහිත බඳුනක සිටුවාගන්න. දිනපතාම ජලය යොදන්න. සති කිහිපයක් ගතවීමේදී සරුසාර ලීක්ස් වගාවක් ඔබට හිමිකර ගතහැකියි.

මේ ආකාරයට එදිනෙදා ඔබේ භාවිතයට අවශ්‍ය ගසක් දෙකක් හෝ බඳුන්ගතව වවා ගතහොත් එය භුක්තිවිඳීමේදී ලැබෙන ආත්ම තෘප්තිය මොනතරම් ද?

 

ඦායාරූප - අන්තර්ජාලය ඇසුරිනි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.