සිටවූ පැළ රැකබලා ගන්නා අයුරු

උඩවැඩියා මල් ලෝකය
ජූලි 28, 2021

 

සතුටින්, සොම්නසින් යම් මිල මුදලක් උපයා ගත හැකි නම් එය කොයිතරම් අපූරුද? ඕකිඩ් මල් ඇසුරේ කාලය ගත කරමින්, එය කදිම ආදායම් මාර්ගයක් බවට පත්කර ගතහැකි නම් ඔබේ සතුටු දිවිය එතරම් දුර ඈත නොවේ.

ඒ සඳහා ඔබට මඟහසර කියාදෙන මේ උඩවැඩියා මල් ලෝකය ඔස්සේ අද අපේ අවධානයට යොමු වන්නේ කුඩා ඕකිඩ් පැළ නඩත්තුව පිළිබඳයි.

 

පැළ නඩත්තුව

පසුගිය සතියේ දී අප සඳහන් කළ පරිද්දෙන් කුඩා දැල් පෝච්චිවල සිටවූ ඕකිඩ් පැළ රාක්ක මත රඳවන්න. අනතුරුව එම කුඩා පැළ රැකබලා ගන්නා ආකාරය පිළිබඳයි අප මෙහි සඳහන් කරන්නේ.

මෙලෙස රාක්ක ගත කළ කුඩා ඕකිඩ් පැළ සඳහා දින පහක් හෝ සතියක් ගතවනතුරා ජලය පමණක් යොදන්න. එහිදී ස්ප්‍රේ බඳුනක් ආධාරයෙන් ජලය ස්ප්‍රේ කළ යුතු අතර උදය වරුවේ ජලය යෙදීමටත් අමතක නොකරන්න. නමුත් ඉතා වියළි කාලගුණයක් පවතින අවස්ථාවකදී නම් සවස් කාලයේ දී ද එනම් හිරු රශ්මිය හොඳින් අඩු වූවාට පසුව ද ජලය ස්ප්‍රේ කරන්න.

 

පොහොර සැකසීම

මෙලෙස සතියක් ජලය පමණක් සපයා දෙවැනි සතියේ දී ඔබට පොහොර යෙදීම ආරම්භ කළ හැකිය. අප මෙහි සඳහන් කරන්නේ N : P : K අනුපාතයයි.

එනම්,

N - නයිට්‍රජන් (ශාක වර්ධනයට)

P - පොස්ෆරස් (මුල් වර්ධනයට)

K - පොටෑසියම් (මල් හට ගැනීමට)

 

පළමු මාසය

පළමු මාසයේ දී දින දෙකක් හැර දිනයක් 20 : 20 : 20 අනුපාතයට සහ 10 : 52 : 10 අනුපාතයට පොහොර යොදන්න. එනම් පළමු දිනයේ දී නයිට්‍රජන්, පොස්ෆරස්, පොටෑසියම් යන වර්ග තුනම 20 බැගින් කළවම් කළ මිශ්‍රණයෙන් යොදන්න. අනතුරුව දින දෙකක් ගතවු පසුව නයිට්‍රජන් 10ට, පොස්ෆරස් 52ක් සහ පොටෑසියම් 10ක් බැගින් යොදා සකසාගත් මිශ්‍රණය යෙදිය යුතුයි.

ඉන්පසුව හත්වැනි දිනයේ දී කැප්ටාන් දිලීර නාශකය යෙදිය හැකියි.

 

දෙවැනි මාසය

දැන් පැළ සිටුවා පොහොර යොදමින් මාසයක් ගෙවී අවසන්. දෙවැනි මාසයේ දී පොහොර මිශ්‍රණය වෙනස් විය යුතු වේ. එහිදී දින දෙකක් හැර දිනයක දී

30 : 10 : 10 අනුපාතයට පොහොර යෙදිය යුතු අතර අනෙක් දවසේ දී 10 : 52 : 10 අනුපාතයට පොහොර යොදන්න.

අනතුරුව හත්වැනි දිනයේ දී ඇන්ට්රොකොල් (Antrocol) දිලීර නාශකය යොදන්න.

 

තෙවැනි මාසය

තුන්වැනි මාසයේ දී දින දෙකක් හැර දිනයක් Mastercrol සහ 20 : 20 : 20 අනුපාතයට පොහොර යොදන්න. අනතුරුව හත්වැනි දිනයේ දී කැප්ටාන් (captan) දිලීර නාශකය යෙදිය යුතු වේ.

 

හතරවැනි මාසය

හතරවැනි මාසයේ දී ඔබ පොහොර යෙදිය යුත්තේ දිනයක් හැර දිනයක් 20 : 20 : 20 අනුපාතයට සහ 30 : 10 : 10 අනුපාතයටයි. පෙර පරිදිම හත්වැනි දිනයේ දී මැන්කොසෙබ් (Mancozeb) දිලීර නාශකයක් යොදන්නට වගබලාගන්න.

දැන් ඉතින් ඔබේ ඕකිඩ් වගාවට මාස හතරකටත් වැඩි කාලයක් ගතවෙලා. මේ වනවිට ඕකිඩ් පැළ තරමක් දුරට වර්ධනය වී ඇති.

මේ පළමු මාස හතරක කාලය තුළ පොහොර සැපයීමේ දී පැකැට්ටුවේ නිර්දේශිත සාන්ද්‍රණයෙන් අඩක් වනසේ පාවිච්චි කළ යුතුය. අනතුරුව ඊළඟ මාස හතරේ දි එනම් මාස 5, 6, 7, 8 යන කාල වකවානු තුළ නිර්දේශිත මාත්‍රනය භාවිත කරන්න.

ඒ වාගේම ඔබ පොහොර යෙදිය යුත්තේ උදය කාලයේදීය. එදිනට පැළවලට ජලය සැපයීම කළ යුත්තේ සවස් වරුවට බවත් මතක තබාගන්න. එමෙන්ම සතියකට වතාවක් යොදන දිලීර නාශකය සවස් වරුවේ ස්ප්‍රේ කරන්නට වගබලාගන්න. මෙම දිලීර නාශක යොදන දිනයේ දී ජලය සැපයීම කළ යුත්තේ උදෑසනටයි.

සාමාන්‍යයෙන් මේ පැළවලට ජලය සැපයිය යුත්තේ පෙරවරු 9.00 ට පෙරයි. මන්ද 9.00ට පසුව හිරු රැස් තදින් පායන බැවින් ඊට ප්‍රථම ජලය, පොහොර යෙදීම සුදුසුය. මසකට වරක් පෝචිචිවල වගා මිශ්‍රණයට හොඳින් ජලය යොදා අතිරේක රසායනික ද්‍රව්‍ය සෝදා හැරීම කළ යුතුයි.

මාස 08කට පසුව මේ ඕකිඩ් පැළ විශාල බඳුන්වලට මාරු කළ යුතු වේ. අපි ඒ ගැන ලබන සතියේ දී කතා කරමු.

 

උපදෙස් - සුමුදු ඕකිඩ්ස් හි

ජයන්තිමාලා එදිරිසිංහ