'කොකෙඩාමා'... එය හරි අපූරු නිර්මාණ කලාවක්

අගෝස්තු 18, 2021

ජපන් බසින් 'කොකෙ' කියන්නෙ පාසිවලට. 'ඩාමා' කියන්න බෝලයට. කොකෙඩමා කියන ජපන් වචනෙ සිංහල තේරුම ඒ අනුව 'පාසි බෝලය' ලෙස ගත හැකියි.

මේ කොරෝනා වසංගත අවධියේ නිවෙසට වී හිඳින දියණියන්ට තම විවේකය ඵලදායී ලෙස ගත කරන්න මෙය අපූරු කලාවකි. බොහෝ සුන්දර නිර්මාණත් සමඟ දවසට සුළු වෙලාවක් හෝ ගත කරන්න ලැබීම විඩාපත් මනසට ඉමහත් සැහැල්ලුවක්.

සෙවණ ප්‍රිය කරන මීවන වර්ග, බේඳුරු, ඇන්තූරියම්, උඩවැඩියා වැනි ශාක කොකෙඩාමා සඳහා වඩාත් ගැළපෙනවා.

බොහෝ ශාක මෙම කලාවත් සමඟ හිතමිතුරු වන අපූරුව ඔබට අත්හදා බලන්න පුළුවන්. සාදාගත් නිර්මාණය නිවෙසේ ඇතුළත හෝ උද්‍යානයේ එල්ලා තැබීමට හෝ විවිධ හැඩැති වීදුරු, පිඟන් මැටි, ප්ලාස්ටික් වැනි ඕනෑම බඳුනක තබා විසිතුරු

ගල් වර්ග, කෘත්‍රිම මල් ගැළපෙන ලෙස යොදා හැඩ කර ගැනීම තම නිර්මාණශීලීත්වය තුළින් කරගත හැකියි.

 

නිර්මාණ සැකසීම සඳහා අවශ්‍ය වන්නේ

 

කොහුබත්

කොම්පෝස්ට් කොටස් එක බැගින්

පිහි තුඩකින් ප්‍රවේසමට ගලවා ගත් ටිකක් ලොකු පාසි කැබලි

බඳුන්ගත කර පැළ කරගත් ශාකයක්

තෝරාගත් පැළය අනුව මතුපිට පස් හා වියළි ගොම ස්වල්පයක්

පාසි එතීම සඳහා ඇඳුම් මැසීමට ගන්නා නූල්

පාසි නැතිනම් කොහු ලණු, ගෝනි ලණු, වූල් හෝ කැමැති මහත නූල් වර්ගයක්

 

ඇන්තූරියම් වැනි ශාකයක් නම් දිගට වැවුණු මුල් ටිකක් කොට කර කපා ගත යුතුයි. බඳුන්ගත කරගත් පැළයක නම් පොලිතින් එක ඉවත් කර වැඩිපුර ඇති පස් ඉවත් කරගත යුතුයි.

 

හදන්නේ මෙන්න මෙහෙමයි

 

කොහුබත් හා කොම්පෝස්ට් හොඳින් මිශ්‍ර කර ජලය ටික ටික එක් කරමින් ගුළියක් ලෙස සකස් කර ගත හැකි වන

ප්‍රමාණයට හොඳින් අනන්න. කොහුබත් නැතිනම් පොල් කොහු කුඩාවට කපා එක් කරගත හැකියි. පැළය මැදිවන සේ

මිශ්‍රණය ටික ටික තබමින් බෝලයක් හැඩයට සකස් කර ගන්න. පාසිවලට ජලය ටිකක් ඉස කැබැල්ලෙන් කැබැල්ල බෝලය මත තබමින් ඇඳුම් මැසීමට ගන්නා නූල්වලින් ඔතා ඒවා නොවැටෙන සේ සකසා ගන්න. පාසි සොයා ගත නොහැකි නම් බෝලය වටා ලණු හෝ වෙනත් මහත නූල් වර්ගයක් රටාවක් ලෙස ඔතන්න. පාසි ඔතන නුල කොළ පාට නම් වඩා හොඳයි. කෙසේ වෙතත් පාසි වැඩෙන විට නූල නොපෙනී යනවා. එවිට එය විල්ලුද බෝලයක් ලෙසින් දැකගත හැකියි.

ජලය යෙදීමේදී පාසි සහිත බෝලය ජලය බේසමක ගිල්වා දිය උරාගැනීමට සුළු වේලාවක් තබා ඉවතට ගැනීම කළ හැකි අතර සතියකට වරක් කිරීම ප්‍රමාණවත්. පාසි නොයෙදූ නිර්මාණයකට නම් දින දෙක තුනකට වරක් ස්ප්‍රේ බෝතලයකින්

මුලට හා පත්‍රවලට දිය ඉසින්න. ඇල්බර්ට් සොලියුෂන් ද්‍රාවණය සතියකට වරක් ශාකයට යොදන්න. පත්‍රවලටත් වැදෙන පරිදි ස්ප්‍රේ බෝතලයකින් එය කරන්න. පොහොර අවශ්‍යතාව එමඟින් සපුරා ගත හැකියි.

උපදෙස් - ගාල්ල මහින්ද විද්‍යාලයේ වාණිජ අංශයේ ආචාරිනී

කුමාරි ලියනගේ