ඕකිඩ් වගාවේ මල් අඩු වන්නේ ඇයි?

උඩවැඩියා මල් ලෝකය
ඔක්තෝබර් 13, 2021

ඕකිඩ් වගාවේ පත්‍ර තද කොළ පැහැයක් ගනියි නම් එය හිරුඑළිය ප්‍රමාණවත්ව නොලැබෙන බවට සාක්ෂියකි.

නෙත පිනවන සිත තුටින් පුරවන මල් ලෝකය කොයිතරම් නම් චමත්කාරජනක ද?

විවිධාකාරයේ ජීවන ගැටලු

මොහොතකට අමතක කරවන්නට සමත් මේ මල් ඇසුරේ ගෙවන පුංචි කාලය පවා මහමෙරක්.

 

සිතට අසීමිත සතුටත්, දෝතට මුදලුත් එකවර පිරිනමන මේ ඕකිඩ් මල් වගාවෙන් හොඳ ආදායමක් උපයා ගන්නට නම් නිරන්තරයෙන්ම වෙළෙඳපොළට මල් සැපයීම කළයුතු වේ. ඒ සඳහා ඔබේ වගාව වඩාත් සාරවත් විය යුතු සේම ඉහළ මල් ප්‍රමාණයක් ද නෙළාගන්නට හැකි විය යුතුයි.

නමුත් අවාසනාවකටදෝ ඇතැම් මල් වගාවන් තුළින් අපේක්ෂිත අස්වැන්නක්, එහෙමත් නැතිනම් වැඩි මල් ප්‍රමාණයක් කපා ගත නොහැකි වේ. ඒ සඳහා විවිධාකාර ගැටලු බලපානු ලබන අතර ඒ මොනවාදැයි අද අපි සොයා බලමු.

 

මල් හට නොගැනීමට හේතු

1. ඔබ තෝරාගෙන ඇති ඕකිඩ් පැළ එතරම් මල් ලබාදෙන ක්ලෝනයක් නොවීම.

 

සාමාන්‍යයෙන් අතරමැදි (Intermediate) වර්ගයෙන් වසරකට මල් කිනිති 24ක් පමණ ලබා දිය යුතු වේ. ඊට අමතරව ෆැලනෝප්සිස් වර්ගයේ (ඩෙන්ඩ්‍රෝබියම්) රවුම් මල සහිත පැළයකින් මල් කිනිති 15ක් පමණ ලබා දිය යුතුය. (මෙහි කහ පැහැති මල් හටගන්නා පැළවල මල් ලබාදෙන වාර ගණන තරමක් අඩුය.) මේ නිසා හොඳින් මල් හටගන්නා ඕකිඩ් වර්ග තෝරා ගැනීම ඉතා වැදගත්.

 

2. සීමාව ඉක්මවා පොහොර සැපයීම.

 

කලට වේලාවට ජලය සේම පොහොර සැපයීම ද කළයුතු වේ. නමුත් පොහොර වැඩිවීම, එනම් නයිට්‍රජන් (N) අධිකව යෙදීම නිසා ඕකිඩ් කඳ අනවශ්‍ය ලෙස මහත් වී පත්‍ර වර්ධනය ද වැඩිවිය හැකියි.

 

3. නිසි කලට අවශ්‍යතාව අනුව පොහොර මිශ්‍රණ තෝරා නොගැනීම.

 

ඕකිඩ් පැළයක පත්‍ර වර්ධනය සඳහා ක්‍රියාකාරි නයිට්‍රජන් (N) වැඩි පොහොර ද මුල් වර්ධනයට පොස්ෆරස් (P) වැඩි පොහොර ද මල් හට ගැනීමට පොටෑසියම් (K) වැඩි පොහොර ද අවශ්‍ය වේ. ඒ අනුව සුදුසු කාල වකවානුව තුළ ගැළපෙන පොහොර මිශ්‍රණය තෝරා යෙදීම කළ යුතුයි.

 

4. අවශ්‍ය ප්‍රමාණයට හිරුඑළිය නොලැබීම.

 

ඕකිඩ් වගාවේ පත්‍ර තද කොළ පැහැයක් ගනියි නම් එය හිරුඑළිය ප්‍රමාණවත්ව නොලැබෙන බවට සාක්ෂියකි. පත්‍ර කහපාටට හුරු කොළපාට නම් හෝ රතු වර්ණයෙන් යුක්ත නම් හිරුඑළිය අධිකව ලැබේ. මේ නිසා පත්‍රවල වර්ණය අතරමැදි කොළ පැහැයක් ගන්නේ නම් ප්‍රමාණවත්ව ලැබෙන බවට සිතාගත හැකියි.

5. අධික ලෙස ජලය එකතුවීම.

 

ඔබේ ඕකිඩ් පැළ සහිත බඳුන්වල ජලය රැඳී තිබෙයි නම් එය මුල් කුණුවීමට බලපානු ලබයි. මෙයද ඕකිඩ් මල් හට නොගැනීමට හේතුවක් විය හැකියි.

 

6. වගා මිශ්‍රණයේ රැඳී සිටින සතුන්.

ඕකිඩ් වගා මිශ්‍රණය තුළ ඇතැම්විට කුඩා ගොලුබෙල්ලන් රැඳී සිටිය හැකියි. ඔවුන් නිසා ඕකිඩ් මුල්වල තුඩුවලට හානි පැමිණවීම මතද ඔබේ වගාවේ අස්වැන්න අඩුවිය හැකියි.

 

7. සිටුවා ඇති බඳුනේ සිදුරු සංඛ්‍යාව, ප්‍රමාණවත් නොවීම නිසා බඳුන් තුළ මුල් තද වී තිබිය හැකියි. එයද සරුසාර ඵලදාවක් ලබාගැනීමට බාධාවකි.

 

8. දහවල සහ රාත්‍රිය අතර උෂ්ණත්ව වෙනස ප්‍රමාණවත් නොවීම ද මල් හටගැනීමට බලපානු ලබයි.

 

ඕකිඩ් කිනිතිවල පොහොට්ටු හැලීමට හේතූ

 

• මාධ්‍යයේ තෙතමනය අධිකවීම.

• පොහොරවල නයිට්‍රජන් ප්‍රමාණය අධික වීම.

• උෂ්ණත්වය අධික ලෙස ඉහළ යාම.

• මල් පැළ අසළ ප්‍රදේශයේ වාතයට පෙට්‍රල් වාෂ්ප, එතිලීන් වාෂ්ප සහ වාහන දුම් අධික ලෙස එකතුවීම.

• ක්‍රියාකාරි ක්ෂුද්‍ර මූලද්‍රව්‍යය (Micro elements) අඩුවීම සහ කැල්සියම් අඩු වුවහොත් මල් කිනිතිවල දෘඩ බවද අඩුවී යයි.

• පොහොට්ටුවලට සතුන්ගෙන් හානිවීම.

 

 

උපදෙස්

සුමුදු ඕකිඩ්ස් හි

ජයන්තිමාලා එදිරිසිංහ