ඕනෑම පසක වගා කළ හැකි ගෝවා

අප්‍රේල් 24, 2019

නිවෙසෙහි පෝෂණය සහ අරපිරිමැස්ම ගැන කතා කරන විට ගෙවතු වගාවකට යොමු වීම ඉතාම වැදගත්. නැවුම් එළවළුවක, පලතුරක රස බැලීමට හැකි වන්නේ ඔබේ ගෙවත්තෙන් භෝග වගාවකට ඉඩක් වෙන් කළොත් පමණයි.

ගෝවා වැනි වගාවන් සඳහා විශාල ඉඩ ප්‍රමාණයක් අවශයයි කියා බොහෝ දෙනා සිතුවත් දැන් කුඩා ඉඩකඩක සාරවත් ගෝවා වගාවක් පවත්වා ගත හැකි ක්‍රම තිබෙනවා.

Brassica loeracea යන විද්‍යාත්මක නමින් හඳුන්වනු ලබන ගෝවා ලොව පුරා ප්‍රචලිත එළවළුවකි. මෙය මෙරට ඕනෑම දේශගුණයක පහසුවෙන් වගා කළ හැකියි.

එමෙන්ම වගා නඩත්තුව හා අස්වනු නෙළීමද පහසුය. පෝෂණ අගයද ඉතා ඉහළයි.

 

පස සහ දේශගුණය

ගෝවා වාණිජ වගාවක් ලෙස වඩාත් ප්‍රචලිත වී ඇත්තේ ශීත කලාපයේය. එහෙත් යහපත් කෘෂිකාර්මික පිළිවෙත් යටතේ ඊට සුදුසු ප්‍රභේදයක් වගා කරන්නේ නම් වියළි කළාපයේදී ද සරු අස්වැන්නක් ලබා ගත හැකියි. සාරවත් පසක් තිබීම සරු අස්වැන්නකට හේතුවන තවත් ප්‍රධාන සාධකයකි.

මෙහිදී වඩාත් යෝග්‍ය වනුයේ නඩ් අගය 6 - 6.5 වන කාබනික ද්‍රව්‍යයෙන් පොහොසත් පසකි. එහෙත් පවතින පස ඉහළ ආම්ලික ස්වභාවයකින් යුක්ත නම් පසට අළුහුනු එක් කරමින් ගෝවා වගා කිරීමට සුදුසු වන පරිදි බිම සකසා ගත හැකියි.

වගාව ආරම්භයේදී පස පෙරළා ක්ෂේත්‍රය හොඳින් සැකසිය යුතුය. එහිදී සෙන්ටිමීටර් 30 - 40 පමණ ගැඹුරට පස පෙරළීම යෝග්‍ය වේ. එමඟින් පසෙහි පාංශු ව්‍යූහය වැඩිදියුණු වේ.

 

පසට සහ දේශගුණයට සුදුසු ප්‍රභේද

වගාවට අවශ්‍ය වන සියලු සාධක ලබා දුන්නද සුදුසු ප්‍රභේදයක් තෝරා නොගන්නේ නම් බලාපොරොත්තු වන අස්වැන්න ලබා ගත නොහැකිය. එහෙයින් වගාවට යෝග්‍ය ප්‍රභේදය තෝරා ගැනීම පිළිබඳව වඩාත් සැලකිලිමත් වීම වැදගත්ය. එනම් වගාව ආරම්භ කරන ප්‍රදේශය අයත් කෘෂි දේශගුණික කලාපයට නිර්දේශ කළ ප්‍රභේදයක් තෝරා වගා කිරීම කළ යුතුයි.

උඩරට තෙත් කලාපය සඳහා නිර්දේශිත ප්‍රභේද වන්නේ එක්සෝටික් සහ හර්කියුලස් යන ඒවාය. මැදරට ප්‍රදේශයේ ගෝවා වගාව ආරම්භ කරන්නේ නම් වගා කළ යුතු වන්නේ ඒ. එස්. ක්‍රොස් හා කේ. වයි. ක්‍රොස් ය. එමෙන්ම එක්සෝටික් මැදරට ප්‍රදේශයේද වගා කළ හැකියි.

හර්කියුලස් යනු කොළ වර්ණයෙන් යුත් වඩාත් තද ස්වභාවයකින් යුක්ත රවුම් ඵල හට ගන්නා ප්‍රභේදයකි. සාමාන්‍යයෙන් ඒවා සිටුවා දින සියයකින් පමණ ඵලදාව ලබාගත හැකියි.

 

තවාන් සැකසීම

පැළ තවානක මූලික අරමුණ ක්ෂේත්‍රයේ සිටුවීමට සුදුසු නිරෝගී පැළ ලබා ගැනීමයි. මෙහිදී තවාන සැකසිය යුත්තේ පෙර ගෝවා වගාවක් නොකළ බිමකය. මන්ද එවන් බිමක ගෝවාවලට ආසාදනය වන රෝග කාරකයින් පසෙහි රැඳී සිටීමේ අවදානමක් ඇති හෙයිනි. එමෙන්ම තවාන් බිමට හොඳින් හිරු එළිය ලැබිය යුතු අතර ජලය හොඳින් බැස යන ආම්ලික නොවන පසක් තිබිය යුතුයි.

පාත්ති සැකසිය යුත්තේ මීටර් 1ය2 ප්‍රමාණයටය. නමුත් ඔබට ඇති බිම් ප්‍රමාණය අනුව පාත්තිවල ප්‍රමාණයෙහි වෙනස්කම් කරගත හැකියි. පාත්තිවල උස සෙන්ටි මීටර් 45 ක් පමණ වීමත් එහි උසින් අඩක් පමණ කොම්පෝස්ට් හා මතුපිට පස් 1:1 වන අනුපාතයට පිළියෙළ කළ මිශ්‍රණයකින් පිරවීමත් කළ යුතුයි. ගෝවා බීජ පැළ කළ යුත්තේ පේළි අතර පරතරය සෙන්ටිමීටර් 10 ක් වන පරිදිය. තවද බීජ සෙන්ටිමීටරයකට වඩා අඩු ගැඹුරකින් පසේ සිටුවීම කළ යුතුයි.

බීජ සිටවූ පසු වසුනකින් වැසීම වැදගත්ය. එම වසුන බීජ පැළ වූ පසු ඉවත් කිරීම සුදුසුය. පැළ දැඩි කිරීම එනම් පැළ සිටුවීමට නියමිත ක්ෂේත්‍රයේ තත්ත්වයන්ට සුදුසු පරිදි පැළ පුහුණු කිරීම ඇරැඹිය යුත්තේ සිටුවීමට දින දහයකට පමණ ප්‍රථමවය. එහිදී පැළ ක්‍රමයෙන් හිරු එළියට නිරාවරණය වන කාල සිමාව වැඩි කළ යුතුයි.

2019/04/24 තරුණි බලන්න

 

උපදෙස්

කෘෂිකර්ම උපදේශක

එච්. ඒ. ඉන්දික ගුණසේන

බස්නාහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

හෝමාගම