සිරි ඉතිරෙන සඳලුතලයකට

මැයි 29, 2019

අද බොහොමයක් පවතින්නේ තට්ටු ගෙවල් ය. එමනිසා මේ සෑම නිවෙසක ම පාහේ සඳලුතල පවතී. ඇතැම් නිවෙස්වල මඳක් විශාල ප්‍රමාණයේ සඳලුතල තිබුණ ද අද වන විට ඇති තට්ටු නිවාසවල ඇත්තේ කුඩා ප්‍රමාණයේ සඳලුතල ය.

අප බොහෝ විට එම සඳලුතල භාවිත කරන්නේ රෙදි වේලීම, වෙනත් බඩු භාණ්ඩ තැබීම වැනි දේ වලටයි. එහෙත් මේ කුඩා සඳලතල අලංකාරයත්, ප්‍රයෝජනයත් දෙකම ලැබෙන පරිද්දෙන් සකස් කරගැනීමට හැකි නම් එය වඩාත් සුදුසු යි.

මේ සඳලුතල කිහිපය ඔබට අලුත් අදහසක් සපයනවාට සැක නැහැ. පෝච්චි කිහිපයක එළවළු පැළ සිටුවා ඒවා නිසි ලෙස නඩත්තු කිරීමෙන් මෙන්ම සඳලුතලයේ පෝච්චියක මල් වැලක් හෝ පැෂන් වැලක්, නැතිනම් එළවළු වැලක් හදා එම වැල ආරුක්කුවක් ලෙස සැකසූ මැස්සක යැවිය හැකියි. එයින් ඔබේ සඳලුතලයට වෙනස් ම පෙනුමක් ලබා ගත හැකියි.

එමෙන්ම තණකොළ ලෙස පෙනෙන කොළ පැහැති පලසක් සඳලුතලයේ එලා එහි තැනින් තැන මල් පෝච්චි තබා සැකසීමෙන් එළිමහනක සුන්දරත්වය ලබා ගත හැකියි. එහි පුටු කිහිපයක් තබා ගැනීමෙන් සැන්දෑවේ සුන්දරත්වය හොඳින් විඳ ගැනීමට එහි ඉඩ කඩ සපයා ගත හැකියි. අප මේ ඔබට ඉදිරිපත් කරන සඳලුතල ඔබේ සඳලුතල සකසා ගැනීමට ආදර්ශකොට ගත හැකියි.