නිදන කාමරයේ සිරියාව වගේම සැලසුම ගැනත් සිතන්න

ජුනි 19, 2019

නිවෙසක් තැනීම සංකීර්ණය. ඒ සඳහා තාක්ෂණික දැනුම, ප්‍රායෝගික අත්දැකීම් හා නිර්මාණාත්මක කුසලතාව යන සියල්ල පිළිබඳ යම් දැනුමක් හා අවබෝධයක් ඔබට තිබිය යුතුමය.

විශේෂයෙන්ම නිවෙසක සැලසුම අනුව එහි විවිධ වූ අංග පිළිබඳ සම්මතයන් ගැන අවබෝධය වඩාත් වැදගත්ය.

නිවෙසක නිදන කාමරය මේ අතුරින් ප්‍රමුඛස්ථානයක් ගනියි. සම්මතයක් ලෙස වාස්තු විද්‍යානුකූලව නිවෙසක තිබිය යුතු කාමර සංඛ්‍යාවක් වෙයි.

එසේම ඉඹ්ඉ සම්මතයට අනුව නිවෙසක නිදන කාමරයක වර්ගඵලය පිළිබඳ සම්මතයක් ද තිබේ.

අපගේ මූලික අවශ්‍යතාවක් වූ නිදාගැනීමේ කටයුත්ත සඳහා නිදන කාමරයක් තිබීම අනිවාර්යය වෙයි.

එසේම දවසේ වැඩි කාලයක් ගත කරන්නේ ද නිදන කාමරය තුළයි. එබැවින් මෙම නිදන කාමරය තුළ හොඳ වාතාස්‍රයක් හා ආකර්ෂණීය බවක් තිබීම ගැන වැඩි අවධානයක් යොමු කළ යුතු වෙයි. එසේම එය නිවෙසියන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂාවන පරිදි නිර්මාණය කිරීමට ගෘහ නිර්මාණශිල්පියා වගකිව යුතුයි.

ප්‍රධාන නිදන කාමරය (Master Bedroom)

අන්තර්ජාතික ප්‍රමිතියට අනුව ප්‍රධාන නිදන කාමරය නිවෙසක තිබිය යුතුමය. කුඩා නිවෙසක මෙම නිදන කාමරය පමණක් තිබේ නම් එය වර්ග මීටර් 11 ට වඩා වැඩිවිය යුතුය. එසේම නිදන කාමරය කාමර එකකට වඩා වැඩි ප්‍රමාණයක් වේ නම් Master Bedroom එක වර්ග මීටර් 8.5 වඩා වැඩි විය යුතු බවත් සම්මතයක් ලෙසින් පිළිගනියි.

නිවෙසක නිදන කාමරයක ජනේල යොදන ආකාරය ද සම්මතයක් වෙයි. සාමාන්‍යයෙන් නිදන කාමරයක ජනේලයක වර්ගඵලය කාමරයේ බිමේ වර්ගඵලයේ සාපේක්ෂව 1/7 ක් විය යුතුය. එසේම එම ජනේල සම්පූර්ණයෙන් විවෘත කළ හැකි අයුරින් නිර්මාණය කිරීමට ද වගබලාගත යුතුවෙයි.

නිදන කාමරයට හොඳින් වාතාශ්‍රය ලැබීම ගැනද සෑමවිටම ඔබ විමසිලිමත් විය යුතුයි.

ඒ සඳහා අවම වශයෙන් අඩි 8 ක සීමාවක් මායිම් බිත්තියට තිබීම ද සම්මතයකි. විශේෂයෙන්ම ඔබගේ කාමරයේ නිදන කාමරයේ ඇඳ තිබෙන ස්ථානයට හොඳ හිරු එළිය ලැබෙයි නම් එය වඩාත් සනීපාරක්ෂිතය.

එසේම ඔබ නිදන කාමරයක් තැනීමෙන් පසුව ද අප සලකා බලන කරුණු කිහිපයකි. නිදන කාමරයට ආලේප කරන තීන්ත වර්ග, කාමරයේ ගෘහ භාණ්ඩ, ජනෙල් රෙදි වර්ග ගැළපීම ගැන සිතා බැලිය යුතුය. එසේම වර්තමානයේ නිදන කාමරයට යාබදව නාන කාමරයක් නිර්මාණය කිරීම ප්‍රයෝජනවත්ය.

තවද ඔබ නිවෙසේ ආරක්ෂාව සඳහා විදුලි බුබුලු දල්වන පරිපථය නිර්මාණය කර එහි ස්විචය කාමරය තුළම සවි කිරීම වැදගත්ය. එසේම විදුලි පංකා සඳහා යොදන ස්විචය ද ඒ අසලම සවි කළ යුතුය.

මේ අයුරින් නිවෙසක නිදන කාමරය තැනීම ගැන ඔබට අවබෝධයක් හා දැනුමක් තිබීම මේ කාලයේ ප්‍රයෝජනවත්ය.

උපදෙස් කුරුණෑගල, වරකාපොළ, පානදුර කැදැල්ල හෝම්ස්හි අධ්‍යක්ෂ දේශමාන්‍ය ආචාර්ය

මහින්ද ඒකනායක

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.