මන්දාලෝකය පතුරන සොඳුරු විදුලි පහන් ආවරණ

ජුනි 26, 2019

නිවෙසේ සුන්දරත්වය වැඩි කරන්නේ කෙසේදැයි ඔබ සිතනවා ඇති. ඇතැම් විට අප නොසිතන කුඩා දේවල් පවා නිවෙසේ ලස්සන වැඩි කරන්නට සමත් වන බව අපට දැනෙන්නේ එවැනි දේ නෙත ගැටුණ විටයි.

එලෙසින් මා නෙත ගැටුණු මේ බිත්ති විදුලි පහන් රඳවන හා විදුලි පහන් ආවරණ ඔබේ නෙතු මානයට ගෙන ආවේද එනිසයි.

රාත්‍රියේ දී ආලින්දයේ අඩ අඳුරු බව ගෙන එන්නේ ආනන්දනීය බවක්. එවැනි අඩ අඳුරක් ලැබෙන සේ මන්දාලෝකයක් ලබා දීමට හැකියාව ඇති මේ විදුලි පහන් ආවරණ නිවෙසට ද කදිම පෙනුමක් ලබා දීමට ද සමත්. මෙහි ඇති විශේෂත්වයක් වන්නේ මේ විදුලි පහන් ආවරණ හා රඳවන මිලදී ගැනීමට ම අවශ්‍ය නොවන අතර නිර්මාණශීලී දෑතක් හිමි ඔබට මෙවැනි විදුලි පහන් රඳවන හා ආවරණ සකසා ගත හැකි වීමයි.

ලීයකින් තැනූ මිනිස් පාදයක හැඩය ඇති ලීයේ රඳවා ඇති ලන්තෑරුම සඳහා වෙනත් හැඩයක ලී රඳවනයක් වුවද ඔබට සකසා ගත හැකියි. අයිස්ක්‍රීම් කෝටු එකතුකර සැකසිය හැකි නිර්මාණ ද මේ අතර වේ. මේ සඳහා කුමනාකාරයේ ආදේශකයන් යොදා ගන්නේ ද යන්න ඔබගේ නිර්මාණශීලීත්වය මත රඳා පවතින්නනකි. මෙහි ඇති එල්ලා ඇති කුරුලු කූඩුව නිර්මාණය කිරීම කොතරම් පහසුදැයි බලන්න. එහි බිත්තර දෙකක් මෙන් තබා ඇත්තේ විදුලි බල්බයි. අද වෙළෙඳ පොළේ විවිධ හැඩයන් හා විවිධ පහසුකම්වලින් යුත් විදුලි බල්බ ඇති නිසා ඔබට මෙවන් තවත් නිර්මාණ සිදු කළ හැකියි. මේවායෙන් නිවෙසට ලැබී ඇති සුන්දරත්වය නම් මෙතෙකැයි කිව නොහැකියි.

එතරම් වෙහෙසක් නොගෙන සාමාන්‍ය උණ බට කැබැලි කිහිපයකින් සකසා ඇති බිත්ති විදුලි පහන් ආවරණයක් ද මේ අතර වේ. එහි ඇතුළතින් විදුලි බල්බ රඳවා ගැනීමට හැකිවන අයුරින් එය නිමවා ඇත. මෙය එතරම් වෙහෙසක් නොදරා සකසා ගත හැකි නිර්මාණයකි.

අඩු මුදලකින් නිවෙස කලඑළි කර ගැනීමට මේ අදහස් ඔබට වැදගත් වේවි. එමෙන්ම ලී පතුරු, උණ බට ආදියෙන් සකසා ඇති මේ බොහෝ සැරසිලි පරිසර හිතකාමී වීම ද තවත් විශේෂත්වයක්.