ගෘහ මාළිගයක කිරුලු දරන්නට

අගෝස්තු 14, 2019

නිවෙසක සිහිනය කාටත් පොදුයි. ඒ හින්දා හැමෝම හිතන්නේ තමන්ගේම කියලා ලස්සන ගෙයක් හදාගන්න. ඒත් ඉතිං හැමදාමත් සිහින දැක දැක ඉඳලා හරියන්නේ නැහැ. ඒ සඳහා උත්සාහයක් ගත යුතුමයි. එහෙම උත්සාහ කරන ඔබ වෙනුවෙන් තමයි අද මේ ලිපිය වෙන්වන්නේ.

ගෙයක් කියන්නේ කාට වුණත් කාලයක දී හීනයක්. හිතේ තියෙන “සිහින නිවෙස” සැලසුමකට ඇඳලා ඒක හදලා ඉවර වෙනකම් ඔළුවට තියෙන්නේ ලොකුම බරක්. හරි පිළිවෙළක්, මූලික දැනුමක් නැතිව වැඩේට බැස්සොත් කිසිම නිදහසක් නම් නැහැ. හිතුවාට වඩා වියදම් වෙන බව ඔබට දැනේවි. වැඩේ බරපතළකම, අමාරුව දැනෙන්න නම් අතගහලා බලන්නම ඕනේ.

බොහෝ දෙනා ගෙවල් හදන්න ගිහින් මානසික නිදහස පවා නැතිකරගෙන වැඩ කටයුතු අවුල් කරගන්නවා. මානසික ආතතිය, කේන්තිය, නින්ද නොයාම ආදිය මෙහි ප්‍රතිඵලයන්. එහෙම වුණොත් ඔබට ගේ හදන එක හරියට කොටි වලිගයක් අල්ලා ගත්තා වගේ යැයි හිතෙයි.

“හිතුවාට වඩා ලොකු ගාණක් අත්තිවාරමට ගියා. අඩුගාණෙ ඉතුරු වැඩ ටිකේ කොටසක් හරි හදලා පදිංචි වෙන්නත් තව කාලයක් බලා ඉන්න වෙයි.” බොහෝ දෙනකුට මෙහෙම කියන්න වෙන්නේ තමා ළඟ හරි සැලසුමක් නැතිකම හින්දයි.

ඇත්තටම ගෙයක් හදනවා කියන්නේ හිතන තරම් අමාරු දෙයක් නෙමෙයි. අතේ හරි සැලසුමක් ඇතුව, වැඩේ ගැන පෙර අවබෝධයකුත් ඇතිව, හරි දේ හරි ප්‍රමිතියට හරි වේලාවේ දී කළා නම් ඔබට කිසිම අපහසුතාවක්, ඔළුවට බරක් දැනෙන්නේ නැහැ. මොකද ඉදිරියේ දී සිදුවෙන්න තියෙන වැඩ කටයුතු, ඒවාට වියදම් වෙන මුදල්, වැඩේ ඉවර කරගන්න ගත වෙන කාලය ආදිය ගැන ඔබ දැනුවත් නිසා.

සැලසුම හරියටම ඕනේ

වාස්තු විද්‍යාවට අනුව මුලින්ම නිවාස සැලසුම ඇඳීම කළ යුතුයි. සැලසුම අඳීන කෙනා හට මේ ගැන දැනුමක් නැත්නම් වාස්තු විද්‍යාඥයකුගේ සහයෝගයත් ඇතිව සැලසුම ඇඳගන්න. ඔබේ අවශ්‍යතාවන්ට ගැළපෙන, හඳහනට අනුව වර්ග වෙන ආකාරයට, නිවැරැදිව පාද බෙදා දොර ජනෙල් තබා, දොසක් හිටින්නේ නැති විදිහට වහලය නිර්මාණය කරගෙන, වැසිකිළි වළ හා ළිඳ නියමිත ස්ථානයන්හි සලකුණු කර ගැනීම සුදුසුයි. මේවා වාස්තු විද්‍යාව පැත්තෙන් බලන්න ඕනේ දේවල්.

නිසි තාක්ෂණය ඉතා වැදගත්

අනෙක් පැත්ත තමයි තාක්ෂණය. මෙයින් ආවරණය වෙන දේ අතර නිවැරැදි ක්‍රමවේදය හා ප්‍රමිතිය, අඩු වියදම් ඉදිකිරීම් ක්‍රම හා අනවශ්‍ය මුදල් නාස්තිය වැළැක්වීම, නිවැරැදි ඇස්තමේන්තුගත කිරීම හා ඒ තුළ ඉදිකිරීම් කටයුතු සංවිධානය කිරීම, ආකර්ෂණීය නිමාව හා බලාපොරොත්තු වූ කාලය ඇතුළත වැඩ කටයුතු අවසන් කිරීම, දිගුකල් පැවැත්ම සඳහා ගන්නා පූර්වෝපායන් ආදිය මූලික වෙනවා. හිතලා බලන්න, වාස්තු විද්‍යාවත්, නිවැරැදි තාක්ෂණයත් ඔබ හදන්න යන නිවෙසට ලැබෙනවා කියන්නේ පළමු ජයග්‍රහණය ලබා ඉවරයි කියන එක. මෙහෙම කියන්නේ හේතුවක් ඇතිවයි. පිළිවෙළක් නැතිව ගෙයක් හදලා පදිංචි වෙලා විවිධ දෝෂයන් දැනෙන විට කඩා බිඳ දමමින්, වෙනස් කරමින් වාස්තු දෝෂ හදන්න යන එක මහා අපරාධයක්. මොකද මුලින් හදලා, නැවත කඩලා වෙනස්කර ආයෙත් හදනවා කියන්නේ වියදම දෙගුණයකටත් වැඩි එකක්. ඔබ පදිංචි නිවෙසේ මෙහෙම කරනවා කියන්නේ මහත් අපහසුතාවක් දැනෙන දෙයක්. කඩන- බිඳීන ශබ්දයත්, සිමෙන්ති - හුණු සැර, දූවිලි කියන්නේ නිවැසියන්ට කරදරකාරී දේවල්. ඉතින් මේ ආකාරයට කඩ කඩා වෙනස් කරන්නේ නැති විදිහට ඔබ මුලදීම කටයුතු කළා නම් ඒ කියන්නේ මුදල් ඉතිරියකුත් සමඟම පළමු ජය ලැබුවා කියන එක නොවේද?

 

2019/08/14 තරුණි බලන්න

උපදෙස්

සිවිල් ඉංජිනේරු,

වාස්තු විද්‍යා විශාරද,

ආචාර්ය ගයාන් එරමුදුගොඩ