ජීවී බවක් සහිත

මෘදු අංග ගැන දැනුවත් වෙමු
අගෝස්තු 28, 2019

අතු පතරින් එබී හිනැහෙන උදා හිරුඑළියේ නැහැවෙමින්, රැයක් පුරාවට පිනි සිහිලස විඳි මෘදු තණපලසේ පහස දෙපයට ලබාදෙමින්, නැවුම් හුස්මක් ආශ්වාස කරන්නට ඇත්නම් මොනතරම් අපූරුවක් ද?

ප්‍රබෝධවත් උදෑසනකින් අලුත් දවසක් අරඹන්නට අපි බොහොමයක් දෙනා සිහින දකින්නෙමු. එසේම තවත් කෙනකු මෙවැනි අපූර්වතම උදෑසනක අසිරිය අපූරුවට විඳගැනීමට වාසනාවන්ත වී සිටිති. විශේෂයෙන්ම ක්‍රමානුකුලව සකසාගත් ගෙවත්තක්, සරුසාර තණපලසක් ඔබට හිමිකර ගත හැකි නම් උදෑසනක නැවුම් ප්‍රබෝධය විඳගැනීම එතරම් අපහසු කාර්යයක් නොවේ. අවශ්‍ය වන්නේ නෙත පිනන, සිත සනහන ගෙඋයනක් ක්‍රමානුකූලව නිර්මාණය කරගැනීමයි.

 ජිවී බවක්

සහිත මෘදු අංග

සාමාන්‍යයෙන් ගෙඋයනක් නිර්මාණය කරගැනීමේ දී අපි මෘදු අංග සේම රළු අංග ද භාවිත කරන බව පසුගිය සතියේ දී සඳහන් කළා ඔබට මතක ඇති. මෙහිදී මෘදු අංග වශයෙන් අප සඳහන් කරන ලද්දේ ජීවී බවක් සහිත වෙනස්වීමට ලක්වන උද්‍යානයේ දැකිය හැකි දේවල්ය.

එහිදී නිරන්තරයෙන් වැඩෙන ගහකොළ, තණපිට්ටනි, දිය දහරාවන්සේම ජීවීබවින් පිරුණු ගෙඋයන තුළ සැරිසරන කුරුල්ලන්, සමනලයන්, සුරතල් මසුන් ද ඊට ඇතුළත් වේ. එමෙන්ම ගෙමිදුල සුන්දර කරනා මලින් බරවන ශාක සේම මල් නොපිපෙන විසිතුරු 'පත්‍රික ශාක ද අයත් වන්නේ මේ මෘදු අංග කොටසටයි.

 

 ඉඩකඩ ගැන

මුලින් සිතන්න

අජිවී රළු අංග ලෙසින් නොව මේ ජිවී මෘදු අංගයන් නිරතුරුවම වෙනස්වීමට ලක්වේ. එබැවින් එහි හැඩය, ප්‍රමාණය ආදිය ද වරින්වර වෙනස්වීමට ලක්වන අතර ඒවා සඳහා අවශ්‍ය ඉඩකඩ පිළිබඳ මුලදීම සිතාබලා ඒ අනුව උද්‍යානය සැලසුම් කිරීම අත්‍යවශ්‍ය වේ. එසේ නොමැති වුවහොත් වර්ධනයවන ගහකොළ අනුව වරින්වර උද්‍යානය වෙනස් කරන්නට හෝ ගෙඋයනේ වැඩෙන ගහකොළ වෙනස් කරන්නට ඔබට සිදු වේවි.

ගෙමිදුලකට ගැළපෙන ශාක තෝරා ගැනීමේ දී අප බහු වාර්ෂික ශාක මෙන්ම ඒක වාර්ෂික ශාක ද තෝරාගත යුතු වේ. එමඟින් මෙම ශාක අතරේ විවිධත්වයක් ඇතිවන අතර එය ගෙඋයනට අපූරු විචිත්‍රත්වයක් ද එකතු කරාවි.

 

 බහු වාර්ෂික ශාක

බහු වාර්ෂික ශාක යනු දීර්ග කාලයක් මල්, ඵල හටගන්නා බොහෝ කාලයක් වැඩෙන ශාකයි. මෙහිදී මල් පිපෙනා කනේරු, අරලිය, කැලණිතිස්ස, ඇහැල වැනි ශාක හඳුන්වා දිය හැකි අතර මල් නොපිපුණද දැවමය වටිනාකමක් සහිත ශාක ද ගෙඋයනට එකතු කරන්නට ඇතැම් අය කැමැති වෙති. එමඟින් ගෙවත්තට යම් වටිනා පෙනුමක් රැගෙන එන අතර එම ශාක සියල්ලම පාහේ බහු වාර්ෂික ශාක වේ.

මෙම බහු වාර්ෂික ශාක ස්ථිරවම බොහෝ කාලයක් වැඩෙමින් ගෙවත්ත තුළ සිටිනා බැවින් ඉදිරි අනාගතයේ කටයුතුවලට බාධාවක් නොවන ආකරයට සැලසුම් කිරීමට වගබලාගන්න.

 

 ඒක වාර්ෂික ශාක

 

අවුරුද්දක වැනි කෙටි කාලින ආයුෂ සහිත ශාක ඒක වාර්ෂික ශාක ලෙසින් හැඳින්වේ. එබැවින් මේවා නැවත නැවත මාරු කරමින් සිටුවිය යුතු වේ. කපුරු, ඩේලියා, සීනියාස්, දාස්පෙතියා, කූඩලු වර්ග, කැනාස් මේ ඒක වාර්ෂික ශාක ලෙසින් හැඳින්විය හැකියි.

උදාහරණයක් ලෙස ගෙඋයනක වැටී ඇති මාර්ගය දෙපස අප මේ ඒක වාර්ෂික ශාකයක් වූ ඩේලියා, කැනාස්, එහෙමත් නැතිනම් විචිත්‍ර පත්‍ර සහිත කෝලියාස් ශාක සිටවූවා යැයි සිතමු. මෙහිදී කාලයක් ගතවීමේදී ශාක පැරැණි වී මල් නොපිපෙන තත්ත්වයට එහෙමත් නැතිනම් සුන්දර බවේ අඩුවක් දැනේවි. එවිට එම ශාක ගලවා ඉවත්කර ඒ වෙනුවට විවිධ වර්ණයේ, විවිධ වර්ගයේ ශාක සිටුවා අලංකාර කරගන්න.

 

 ප්‍රයෝජනවත් ශාක

 

සාමාන්‍යයෙන් ගෙමිදුලක් සැලසුම් කිරීමේ දී එහි මනරම් හැඩය, පෙනුම ගැන පමණක් අවධානය යොමු කිරීම බොහෝ දෙනකුගේ සිරිතයි. නමුත් එහි සුන්දරත්වය වාගේම ඵල ප්‍රයෝජනයක් ලබාගන්නා ශාක සිටුවා ගන්නටත් ඔබ උනන්දු වන්න. විශේෂයෙන්ම විවිධ එළවළු, පලතුරු ආදිය බඳුන්ගතව හෝ විවිධ වගා ක්‍රම අනුව ක්‍රමානුකුලව සිටුවා ගන්නට හැකිනම් එය මොනතරම් අපූරුද?

උදාහරණයක් ලෙස බඳුන්ගත කළ සලාද කොළ, බෙල් පෙපර්, මාළු මිරිස් සේම පලා වර්ග ඔබේ ගෙඋයනට අපූරු චමත්කාරයත්, වස විසෙන් තොර ගුණදායක එළවළු, පලා පරිභෝජනයත් ඔබට ලබා දේවි.

 

 

 

උපදෙස්

ප්‍රවීණ උද්‍යාන අලංකරණ ශිල්පී,

ව්‍යාපාරික විසිතුරු මල් වගා උපදේශක, කෘෂි විද්‍යා ශූරී,

මාබොදලේ

රංජිත් කළුආරච්චි

 

2019/08/28 තරුණි බලන්න

 

 

 

 

 

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.