උද්‍යානයක් සැකසීම

සැප්තැම්බර් 4, 2019

 

ඇරැඹිය යුත්තේ කොතැනින් ද?

 

කාලයක් පුරාවට වෙහෙස මහන්සිව, අරපිරිමැස්මෙන් එකතු කළ මිල මුදල් වැය කරමින් තැනූ කැදැල්ල ඇත්තටම සුන්දරයි. ඒත් ඒ සුන්දරත්වයේ චමත්කාරය හොඳින්ම ඉස්මතු වන්නට නම් කදිම ගෙඋයනක් ද එකතු විය යුතුමයි.

 

ඉතින් ඒ සොඳුරු ගෙඋයන සකසා ගැනීම ආරම්භ කරන්නේ කෙසේද කියන එක ඇත්තටම සමහරුන්ට ගැටලුවක්. මේ නිසා අද අපි ගෙඋයනක් සකසා ගැනීම අරඹන ආකාරය සොයා බලමු.

ද ඉඩම පිළිබඳ අවබෝධය

ගෙඋයනක් සැලසුම් කිරීමේ දී පළමුවෙන්ම අපි ඉඩම පිළිබඳ මනා අවබෝධයක් ලබාගත යුතුයි. එහිදී ඉඩමේ බෑවුම් සහිත ස්ථාන, කඳුගැට සහිත ප්‍රදේශ මෙන්ම නිර්මාණය සඳහා අදාළ කරගන්නා භූමි කොටස කුමක්ද යන්න පිළිබඳ ද යම් අවබෝධයක් ඔබ සතු කරගත යුතුයි. මෙහිදී වළ ගොඩැලි සහිත ස්ථාන පිරවීම සඳහා කඳුගැට සහිත ස්ථානවලින් පස් ලබාගත හැකි අතර මේ නිසාම ඉඩමේ පවත්නා උස් ස්ථාන පිළිබඳ වැටහීමක් ලබාගත යුතුය.

ද ප්‍රධාන අංගය නිවෙස

එමෙන්ම ඔබේ ඉඩම සම්පූර්ණයෙන් නැරඹිය යුතු අතර එමඟින් නිර්මාණාත්මක සංකල්ප මතුකර ගැනීම පහසු වේ. මේනිසා ඔබේ ඉඩම් කොටස මතුපිට සම්පූර්ණයෙන්ම ශුද්ධ පවිත්‍ර කළයුතු බව පළමුව වටහාගන්න. ඔබේ නිවෙස මේ ගෙමිදුලෙහි පිහිටි ප්‍රධාන අංගය විය යුතු වේ. එබැවින් ඔබ සකසනා උද්‍යානය නිසා එහි අගය තීව්‍ර වී දැකිය යුතු වේ. ඒ සඳහා නිවෙස මනාව දර්ශනයවන, වැඩි අලංකාරයට දිස්වන දිසාව පිළිබඳ අවබෝධයක් ලබාගැනීම වැදගත්ය.

ද ආකර්ෂණීයම ස්ථානය

නිවෙසට පැමිණෙන පුද්ගලයකුට මුලින්ම නෙත ගැටෙන ස්ථානය අප විසින් සොයා ගතයුතු වේ. ඉඩම විශාලත්වයෙන් වැඩිනම් එවැනි ස්ථාන කිහිපයක් ද සොයා ගත යුතු වේ. එසේ සොයාගත් ස්ථානවලින් ආකර්ෂණීයම ස්ථානය තෝරාගෙන එම ස්ථානයට නිවෙස තුළ සිටින්නන්ට දිස්වන කෝණය අනුව මතුවන දර්ශනය පිළිබඳ ද ඔබ විමසා බැලිය යුතුය.

ද පොදු ස්ථානයක්

මේ ආකාරයට නිවෙසට පිටතින් පැමිණෙන්නන්ගේ දර්ශනයට සහ නිවැසියන්ට වැඩියෙන්ම දර්ශනය වන පොදු ස්ථානය සොයාගන්න. අනතුරුව එම ස්ථානය උද්‍යාන නිර්මාණයේ ප්‍රධානතම ස්ථානය ලෙස සලකා එම ස්ථානයෙන් උද්‍යාන නිර්මාණ කටයුතු ආරම්භ කළ හැකියි.

සාමාන්‍යයෙන් නගරබද කුඩා ඉඩකඩක් සහිත නිවෙසක නම් මෙම ස්ථානය ලෙස නිවෙසෙහි ප්‍රධාන දොරටුව සහ ගෙවත්තට පිවිසෙන ගේට්ටුව අතර පවතින ප්‍රදේශය ලෙස බොහෝවිට හඳුනාගත හැකියි.

 

 

උපදෙස්

ප්‍රවීණ උද්‍යාන අලංකරණ ශිල්පී,

ව්‍යාපාරික විසිතුරු මල් වගා උපදේශක, කෘෂි විද්‍යා ශූරී,

මාබොදලේ

රංජිත් කළුආරච්චි

2019/09/04 තරුණි බලන්න