භූමිය සැකසීමේ ප්‍රායෝගික ක්‍රමවේද මෙන්න...

සැප්තැම්බර් 25, 2019

සොඳුරු කැදැල්ලේ අසිරි සිරිය තවත් ඔප් නංවන්නට මනරම් ගෙඋයනක් ඊට එකතු විය යුතුමයි. මන්ද විවේකී මොහොතක සොබාදහමේ චමත්කාරය හරි අපුරුවට විඳගන්නට මේ ගෙඋයන ඔබට මහඟු සහයෝගයක් දක්වාවි.

මෙහිදී ඔබගේ අවශ්‍යතාව සහ සිතැඟි අනුව උද්‍යානයක් නිර්මාණය කරගැනීම වඩාත් සුදුසු අතර, එම නිර්මාණයට එකතු කරගත යුතු අංග පිළිබඳ යම් අවබෝධයක් මේ වනවිට ඔබ සතුව ඇති. එබැවින් ප්‍රායෝගිකව ගෙඋයනක් නිර්මාණය කරගන්නා ආකාරය අද අපි සොයා බලමු

ජලය ගලාබසින දිශාව

එහිදි පළමුවෙන්ම අපගේ අවධානය යොමු කළ යුත්තේ උද්‍යානය නිර්මාණය කරගන්නා භූමියෙහි මට්ටම පිළිබඳ සොයා බැලීමටයි. මෙහිදී ඔබේ ඉඩමට ජලය ඇතුළුවීමේ සහ පිටවීමේ දිශාවන් පිළිබඳ මනා අවබෝධයක් ලබාගත යුතුය. ඒ අනුව භූමිය හරහා ගලායන ජලය ක්‍රමවත්ව බැසයාම සඳහා භූමි මට්ටම සකසා ගැනීමට අදහසක් ලබාගත හැකියි.

මෙහිදී භූමිය මට්ටම් කිරීමට ප්‍රථම ඒ තුළ සිදුකරනා සියලු ඉදිකිරීම් (නිවෙස සහ වෙනත් ගොඩනැගිලි) අවසන්කර තිබීමත් ඉතා වැදගත්.

අනවශ්‍ය දෑ ඉවතට

සාමාන්‍යයෙන් ඔබේ ගෙමිදුලේ පොළොව මට්ටම්කර සකසා ගැනීම සඳහා පස් ඉවත් කිරීමට සහ අලුතින් පස් පිරවීමට සිදුවේ. මෙහිදී පස් පුරවා ගැනීමට පෙර ඔබ අතින් ඉටුවිය යුතු තවත් වැදගත් කාර්යයක් තිබේ. එනම් මෙම භූමිය තුළ තැනින් තැන වැටී ඇති ශාක කඳන්, ලී කැබලි, විශාල ගල් කැට, පොලිතින් සහ ප්ලාස්ටික් ද්‍රව්‍ය, යකඩ කොටස්, ගඩොල්, පරණ අබලි ද්‍රව්‍ය ආදී සියල්ලම ඉවත් කළ යුතුයි. පසුවට අවශ්‍ය වේයැයි හැඟෙන යමක් ඇත්නම් ඒවා වෙනම ස්ථානයක පිළිවෙළකට අසුරා තබන්න.

පස් පුරවා ගන්න

අනවශ්‍ය සියල්ල ඉවත් කිරීමෙන් අනතුරුව අපට දැන් පස් පුරවා ගත හැකිය. මෙලෙස පිරවීම සඳහා යොදා ගන්නේ බොරළු පස් එහෙමත් නැතිනම් රතු පස්ය. මෙහිදී පස් පුරවා ගැනීමට අදහස් කරනා භූමි කොටස් සිමෙන්ති (කොන්ක්‍රීට්) බැමි බැඳ පළමුව වටකරගන්න. එවිට පස සේදීයාමට භාජනය නොවන අතර හොඳින් සවිවීමට ද රැකුලක් වේවි.

උපදෙස්

ප්‍රවීණ උද්‍යාන අලංකරණ ශිල්පී,

ව්‍යාපාරික විසිතුරු මල් වගා උපදේශක, කෘෂි විද්‍යා ශූරී,

මාබොදලේ රංජිත් කළුආරච්චි

 

2019/09/25 තරුණි බලන්න