සැබෑ වූ සිහිනයක් ලස්සන නිවහනක්

ඔක්තෝබර් 9, 2019

ලස්සන කැදැල්ලක් තනාගෙන නිවී සැනසිල්ලේ දරුවොත් එක්ක ඉන්නයි කාගේත් ප්‍රාර්ථනාව. මේ පැතුම ඉටුකරගත් අශෝක ඉන්දික අතුරලිය සහ ගංගා ප්‍රියානිගේ සොඳුරු කැදැල්ලයි මේ.

2014 අවුරුද්දේ තරුණී වෙතින් රන් පෙන්ඩන්ට් තිළිණ කළ ඒඅයිඒ ක්‍රියේෂන්ස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ තමයි අශෝක.

පර්චස් 20 ක ඉඩමේ තමන්ගේ සිතේ ඇඳුණු කැදැල්ලට සැලසුම සකස්කරගෙන තියෙන්නෙත් අශෝකමයි. ඒ සඳහා බිරිය ගංගායි, විදුර විද්‍යාලයේ ඉගෙනුම ලබන දියණිය ස්නේහයි, පුතා සඳීරයි තමන්ගේ අදහස් ද එකතුකරලා. ඒ හින්දා මේ ලස්සන කැදැල්ල ගොඩනැගිලා තියෙන්නේ මේ හතර දෙනාගෙම සිත නිවන සෙනෙහසේ කැදැල්ලක් ලෙසිනි.

පර්චස් 20 න් පර්චස් 12 ක්ම වෙන්වෙලා තියෙන්නේ මනරම් උද්‍යානයකටයි. ගෙයි සීමාව පර්චස් 8යි. තෙමහල් නිවෙසක් ලෙසින් ඉදිවී තිබෙන මේ නිවහනේ බිම් මහල හෙවත් බේස්මන්ට් එකේ වාහන 8 ක් නවතා තබන්න පුළුවන්.

විසිත්ත කාමරයත් මුළුතැන්ගෙයත් කෑම කන කොටසත් ළංව පිහිටා තියෙන්නේ අමුත්තන්ට වගේම ගෙදර ගෘහණියටත් පහසුවක් වන ලෙසයි. මෙහි නිදන කාමර 4ක් තියෙනවා. සේවක කාමර දෙකක් සහ ගබඩා කාමර දෙකක් තිබෙනවා. වොෂ් රූම් 4 ක් සහිත මේ නිවෙසේ ඉහළම කොටස රූෆ් ටොප් ලෙසින් නිමවී තිබෙනවා. එහි එක් පසෙක වන්නේ නාන තටාකයයි. හවස්වරුවක නිදහස් සුව විඳින්න කදිම ලෙසින් නිමවී ඇති මෙහි අනෙක් පසින් තවත් ටිකක් ඉහළට ගිහින් අවට වටපිටාවේ සුන්දරත්වය සිත්සේ විඳගත හැකියි.

ගෙඋයන මනරම් තණ පලසකින් ද පිහිටි ඉඩමේ උස්ව වැඩුණු වෙරළු ගසකින් ද හැඩවී තිබේ. මේ වෙරළු ගස ඉඩම මිලදී ගන්න අවස්ථාවේ දී ත් තිබුණු එකක්. එය රැකගන්න ගස නොකපායි උද්‍යානය සකසා තිබෙන්නේ. එයින් උද්‍යානයට ගෙනෙන්නේ ලස්සනක්. පසෙකින් ඇති මුස්සැන්දාස්. කැනාස් වැනි මල් පිපෙන ශාක නිසා ගෙවත්තට වර්ණවත් පෙනුමක් ද එක්වී තිබේ.

මෙහි පිවිසෙන ගේට්ටුව හා තාප්පය ද විනිවිද පෙනෙන අයුරින් සකාසා ඇත්තේ වඩාත් සුවිශේෂීබවක් ගෙන දෙමිනි. මේ නිවෙස අතේ තියෙන මුදලට සිතේ ඇඳුණු විදිහටම නිර්මාණය කරගන්න වසර තුනහමාරක් පමණ කාලයක් ගතවී ඇත. වෘත්තියෙන් ස්වර්ණාභරණ නිෂ්පාදකයකු හා ව්‍යාපාරිකයකු වන අශෝක විශේෂයන්ම බෞද්ධ රන් නිර්මාණ සහ අනෙකුත් සියුම් නිර්මාණයන් සිදුකරන දක්ෂ නිර්මාණකරුවකු ද වේ. ඔබටත් පුළුවන් ඔබේ සිතේ ඇඳුණු සිහින නිවෙස ටිකෙන් ටික ගොඩනඟා ගෙන මේ විදිහට ලස්සන නිමාවක් ලබාගන්න.

 

2019/10/09 තරුණි බලන්න