උද්‍යානය චමත්කාරයෙන් පුරවන පොකුණක් හදමු

ඔක්තෝබර් 16, 2019

ගහකොළ, තණකොළ, මල්, දියඇලි, පොකුණු, උද්‍යාන බංකු, ගිමන්හල් මේ සියල්ලගෙන්ම පිරුණු උද්‍යානය අංග සම්පූර්ණ ගෙමිදුලක් බවට පත්වේ.

මේ අතරින් ගිමන්හල්, දියඇලි, පොකුණු ආදිය ගෙඋයනට අත්‍යවශ්‍ය අංග නොවුණත් එවැන්නක් උද්‍යානයට එකතුවීම හරහා ලැබෙන්නේ විස්තර කළ නොහැකි අපූර්වත්වයකි.

එබැවින් උද්‍යානයට අපූරු චමත්කාරයක් එකතු කරන පොකුණක් නිර්මාණය කරගන්නා ආකාරය අද අපි සොයා බලමු.

සාමාන්‍යයෙන් බොහොමයක් උද්‍යානවලට මේ පොකුණු, දිය තටාක ආදිය එකතුකර තිබුණද ඒවායේ යම් යම් නොගැළපීම් ඇතිබව දක්නට ලැබේ. එමෙන්ම සැඟවිය යුතු තැන් හොඳින් ආවරණය නොවීම වැනි අඩුපාඩු ද දැකගත හැකිවේ. මේ නිසා අපි පොකුණක් නිවැරැදිව සහ ක්‍රමානුකූලව තනාගන්නා ආකාරය පියවරෙන් පියවරට හඳුනාගනිමු.

පළමු පියවර

මෙහිදී ඔබේ ගෙඋයනට ගැළපෙන්නේ ස්වාභාවික හැඩයක් සහිත පොකුණක් ද එහෙමත් නැතිනම් විධිමත් හැඩතල සහිත පොකුණක්දැයි යන්න පළමුව තීරණය කළයුතු වේ. එම තීරණය ගැනීමේ දී නිවෙසේ මෙන්ම උද්‍යානය තුළ ඇති අනෙක් වස්තූන් සහ අංග ආදියේ දිස්වන හැඩතල පිළිබඳ සොයාබලා ඊට අනුරූප වූ හැඩතලයන් පොකුණ සඳහා යොදා ගැනීමට වගබලාගන්න.

දෙවැනි පියවර

ඔබේ ගෙඋයනට දියඇල්ලක් එකතු කරගෙන තිබේ නම් එහි පාමුල පොකුණක් සෑදීම අනිවාර්යය වේ. ඊට අමතරව උද්‍යානය තුළ පොකුණක් නිර්මාණය කිරීමේ දී පහත සඳහන් අවශ්‍යතා කෙරෙහි ද අවධානය යොමු කළයුතු වේ. එනම්,

1. ගොඩනැගිලි අත්තිවාරම් ආසන්න ස්ථානයක් නොවීම

2. ජලය ගලායන ස්ථානයක් නොවීම

3. පොකුණ සඳහා පහසුවෙන් ජලය ලබාගත හැකි වීම

4. පොකුණෙහි ජලය පහසුවෙන් ඉවත් කිරීමට හැකිවීම

5. සතුන්ගෙන් සහ ශාකවලින් හානි සිදුවිය හැකි ස්ථානයක් නොවීම

තෙවැනි පියවර

මෙහිදී පොකුණෙහි ස්වභාවය ඊට වෙන් කළහැකි ඉඩ ප්‍රමාණය අනුව තෝරාගත යුතු වේ.

එනම් පොකුණෙහි වර්ගඵලය දළ වශයෙන් කොපමණ වේදැයි තීරණය කළයුතු අතර පොකුණ නිර්මාණය කළ පසුව එය පිහිටා ඇත්තේ පොළොව මට්ටමේ ද ඊට වඩා මඳක් පහළින් ද එසේත් නොමැති නම් පොළොව මට්ටමට වඩා උසින් ද යනවග පළමුව තීරණය කරන්න. මෙම පොකුණෙහි වර්ගඵලය අනුව පහත සඳහන් ප්‍රමාණ ඔබට එහි ගැඹුර වශයෙන් යොදාගත හැකියි.

* වර්ග අඩි 40 ට අඩු - ගැඹුර අඟල් 15

* වර්ග අඩි 40-100 අතර - ගැඹුර අඟල් 16-18 දක්වා

* වර්ග අඩි 100ට වැඩි - ගැඹුර අඟල් 18-24 දක්වා

කෙසේ වෙතත් ඔබේ ගෙඋයනෙහි පිහිටි පොකුණෙහි ගැඹුර උපරිම අඩි 02 ට වඩා වැඩි නොවීමට වගබලාගත යුතුය.

හතරවැනි පියවර

පොකුණෙහි වට ප්‍රමාණය ඔබට රබර් ජල නළයක් බිම එළා ඒ අනුව සලකුණු කරගත හැකි වේ. අනතුරුව එහි මැද කොටසේ පස් ඉවත්කර පොකුණ සෑදීම ආරම්භ කළ හැකියි.

 

උපදෙස්

ප්‍රවීණ උද්‍යාන අලංකරණ ශිල්පී,

ව්‍යාපාරික විසිතුරු මල් වගා උපදේශක, කෘෂි විද්‍යා ශූරී,

මාබොදලේ

 

2019/10/16 තරුණි බලන්න

රංජිත් කළුආරච්චි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.