බිත්ති සරසන මොනර රුවින් හැඩවුණු ඔරලෝසු

ඔක්තෝබර් 30, 2019

මොනරා පෙනුමෙන් ඉතා අලංකාර කුරුල්ලෙකි. ඒ නිසාම මොනර රුව නෙතට රසඳුනක්. නිවෙස හැඩකරන ආයිත්තම් අතරටත් මේ ලස්සන මොනර රූපය එක්කර ගන්න ඔබට පුළුවනි.

නිවෙස ලස්සන කරන්න තියෙන ආයිත්තම් විවිධයි. දිනෙන් දින නවතම මාදිලිවල සැරසිලි වෙළෙඳපොළට එක්වන්නේ අපේ සිතුම් පැතුම් ඉටුකරමිනි. අලුත් විදිහට හිතන අය නිර්මාණාත්මකව ලෝකය දකින අය අතින් නිමවෙන මේ නිර්මාණ අනර්ගයි. ඔරලෝසුව කියන්නේ නිවෙසකට නැතුවම බැරි අංගයක්. වෙලාව බලාගන්න බිත්තියේ රඳවන ඔරලෝසුව නිවෙසට අලංකාරයක්, ආලෝකයක් ගෙන දිය හැකි ලෙස නිර්මාණය වී තිබුණොත් එහි වටිනාකම වැඩියි නේද? මේ තියෙන්නෙත් එවැනි අනර්ග බිත්ති ඔරලෝසු කිහිපයකි. මේවා හැඩකර තිබෙන්නේ අලංකාර මොනර රූපය තේමාවට ගනිමිනි. විසිත්ත කාමරයේ හිස් බිත්තියකට අලංකාර පෙනුමක් ද ගෙන දෙන මේ නවතම මාදිලිවල ඔරලෝසු ඔබේ නිවෙසටත් මනා ආලෝකයක් ගෙන දේවි.

දැන් ඔන්ලයින් බිස්නස් වඩාත් ජනප්‍රිය නිසා මේ ඔරලෝසු ලෝකයේ කොහේ තිබුණත් ඔබේ නිවෙසටම ගෙන්නා ගන්න අවස්ථාව තියෙනවා. අපි මේ ලස්සන ඔරලෝසු දැක්කේ ජෙෆ් බෙසොස් ගේ ඇමේසන් කොම් හා ජැක් මා ගේ අලිබබා කොම් වෙබ් අඩවිවල සැරිසරද්දියි. හැබැයි ඉතින් ඔබ නිර්මාණශීලී නම් මෙවැනි ආයිත්තම් සියුම් ලෙස නිර්මාණය කරන ස්ථානයකින් සාදාගන්නත් පුළුවන්. ග්‍රීල් වැඩ කරන තැන්වලින් මෙන්ම මෙවැනි දේ නිමවන ආයතනත් අපේ රටේ තිබෙනවා. ඔරලෝසු ලස්සන කරන්න වර්ණවත් ගල් වර්ග භාවිතකර, අනෙකුත් කොටස් රිදී වර්ණයෙන් මෙන්ම රන්, තඹ සහ කළු ආදී වර්ණයන්ගෙන් නිමකර තිබෙනවා.