රාත්‍රී කාලයේ දීත් ගෙඋයනට සුන්දරත්වයක්

නොවැම්බර් 6, 2019

වර්තමාන සමාජය බෙහෙවින්ම කාර්යබහුලය. එබැවින් බොහෝ දෙනකු නිවෙසේ රැඳෙන්නේ දහවල් කාලයේ දී නොව සවස හය, හත පසුවූ රාත්‍රී කාලයේ දීය.

මන්ද වැඩිදෙනකු උදය සහ දහවල් කාලය තම රැකියා ස්ථානවල, ව්‍යාපාරික ස්ථානවල ගත කරන අතර අනතුරුව නිවෙසට පැමිණෙන්නේ රාත්‍රිය එළඹෙද්දීය. මේ නිසා දවසේ වෙහෙස මහන්සිය, මානසික ආතතිය නිවාගැනීමට අපූර්ව තෝතැන්නක් වූ ගෙඒඋයන තුළ සැරිසරන්නට, එය සිතු සේ රස වින්දනය කරන්නට ඉඩ ප්‍රස්ථාව අහිමි වේ. ඊට හේතුව වන්නේ රාත්‍රී කාලයේ දී ගෙඋයන අඳුරෙන් වෙළී පැවතීමයි. ඒ නිසා මනරම් ගෙඋයනක් තමා සතු වූව ද එය වින්දනය කිරීමට කාල වේලාවක් නොමැති නිසා රාත්‍රියේ නිවෙසට පැමිණෙන වැඩිදෙනකු පුරුදුව සිටින්නේ ආහාර ගෙන නින්දට යාමටයි.

රටාවේ වෙනසක්

නමුත් මෙලෙස ගෙවී යන රටාවේ යම් වෙනසක් කරන්නට ඔබත් කැමැති ඇති. එනම් කාලයේ අවශ්‍යතා පරිදි රාත්‍රියේ දී ද උද්‍යානයේ සොඳුරු බව වින්දනය කළ හැකි පරිද්දෙන් ගෙඋයන ආලෝකවත් කිරීමයි. ඒ සඳහා විවිධ තාක්ෂණික ක්‍රම භාවිත කරන අතර දැනටමත් නාගරික පෙදෙස්වල පිහිටි ගෙමිදුල් මෙලෙස විදුලි ආලෝකයෙන් ඒකාලෝක වේ.

විවිධ ආලෝක ප්‍රභවයන්

ගෙඋයනකට භාවිත කළහැකි ආලෝක ප්‍රභවයන් කාණ්ඩ කිහිපයකි.

1. අඩි පාරවල් දෙපස යෙදිය හැකි උද්‍යාන ලාම්පු

2. මියුරල්, මූර්ති වැනි විශේෂ නිර්මාණ වෙත යොමුවන සේ යෙදිය හැකි ‘ස්පොට් ලයිට්’ (ඉනධබ තඪඨඩබ)

3. ජල නිර්මාණ ඇතුළත සඟවා සවිකර ඇති විදුලි පහන්

4. බංකුවක්, ඔංචිල්ලාවක් වැනි දෙයක් ඇති ස්ථානයක වටපිටාව හොඳින් පෙනෙන පරිදි උස් කණු මත සවිකර ඇති උද්‍යාන ලාම්පු

5. ගේට්ටු කණු, වැට ආදී නිවෙසට, ගෙඋයනට අයත් ප්‍රධාන ස්ථාන පෙන්වන දීප්තිමත් ආලෝකය විහිදෙන ලාම්පු

සැඟවිය යුතු ස්ථාන

දහවල මෙන් නොව රාත්‍රී කාලයේ දී ගෙඋයනේ අසුන්දර ස්ථාන ඇත්නම් ඒවා සඟවා තබා ගැනීමේ හැකියාව ඇත. එවැනි ස්ථාන ඇත්නම් ඒවාට යාබදව පැතිරෙන විදුලිය සහිත ලාම්පු හෝ ආලෝක ධාරාවන් පතිත නොවන පරිදි යොදා ගතයුතුය. එනම් එවැනි ස්ථාන අඳුරේම පැවතීමට ඉඩහැරිය යුතු වේ.

 

උපදෙස් ප්‍රවීණ උද්‍යාන අලංකරණ ශිල්පී, ව්‍යාපාරික විසිතුරු මල් වගා

උපදේශක, කෘෂි විද්‍යා ශූරී,

මාබොදලේ රංජිත් කළුආරච්චි

2019/11/06 තරුණි බලන්න