ලස්සනට අඳීන ගේ හරියට ම හදන්න ඕනේ

ජනවාරි 8, 2020

අලංකාරවත්, ලස්සන නිවෙසක් කියෙන්නේ හැම දෙනාටම ජීවිතයේ යම් කාලයක ඇතිවෙන මනරම් සිහිනයක්. මේ සිහින නිවෙසේ මූලාරම්භය තමයි එහි සැලැස්ම කියන්නේ.

හදන නිවෙසට උපරිම අලංකාරයක් ලැබෙන පරිදි වාස්තු දෝෂයන් සහ වියදම් අවම වන ආකාරයට තමයි මේ සැලැස්ම පිළියෙල කළ යුතු වෙන්නේ. පවුලේ වැඩිහිටි අය - දූ දරුවන් එකතුව තම අවශ්‍යතාවන් සහ අදහස් පිළිබඳ සාකච්ඡා කර අවසානයේ පිළියෙල කරගන්නේ සියල්ලන්ගේම නිවෙසයි. මෙන්න මේ ආකාරයට පවුලේ සියලු දෙනා විවිධ පැතිකඩ ඔස්සේ තොරතුරු රැස් කරමින්, ගවේෂණය කරමින්, අදහස් විමසමින්, උපදෙස් ලබමින් නිමවා ගන්නා මාහැඟි නිවාස සැලැස්ම ඒ ආකාරයටම ඉදිකර ගැනීම අතිශය වැදගත් දෙයක්. මෙය තමයි අවසන් ප්‍රතිළුලය වෙන්නේ.

නමුත් ඔබට කිවයුතු වැදගත් දෙයක් තිබෙනවා. මේ සියලු කාරණා කටයුතු ඒ ආකාරයෙන්ම සාර්ථකව සම්පුර්ණ කර ගන්නේ ඉතා සුළු පිරිසක් පමණයි. අපි අද මේ ගැන කතා කරමු.

අලංකාරය පමණක් ප්‍රමාණවත් නැහැ

නිවෙසක් සැලසුම් කරනවා යනු අලංකාර චිත්‍රයක් අඳිනවා නොවෙයි. ඊට වඩා විශාල දර්ශන පරාසයක් තුළ, විද්‍යාවන් කිහිපයක් එකතු කරමිනුයි නිවාස සැලසුම් පිළියෙල වන්නේ. අප හැමදෙනාම නිවෙසකින් බලාපොරොත්තු වන අලංකාරය වාගේම ඉදිකිරීමේ දී අවම පිරිවැයක් යන පරිදි සහ කඩිනම් ඉදිකිරීමක් සිදුකළ හැකි පරිදි මෙම මූලික සැලැස්ම පිළියෙල කර ගැනීම ඉතා වැදගත්. කිසිම විටෙකත් සැලසුම් කිරීමේ කාර්යය තුළ අලංකාරය පමණක් සිතන්න එපා. එවිට සිදුවන්නේ ඉහත කී අනෙක් මූලික කාරණා යටපත් වී ලස්සන චිත්‍රයක් පමණක් නිර්මාණය වීමක් වැනි දෙයක්. ඔබගේ නිවාස සැලසුමේ දී මේ ගැන විශේෂයෙන්ම අවධානය යොමු කරන්න.

සැලසුමේ ඇති දත්තයන් ඉදිකිරීමේ දී අනුගමනය කරන්න

නිවෙසක සැලසුමක් පිළියෙල කරන්නේ පරිමාණුකූලව සහ අනුපාතිකවයි. සැලසුමේ පෙන්වා ඇති මෙම කාරණා ඒ ආකාරයෙන්ම ප්‍රායෝගික ඉදිකිරීමේ දී අනුගමනය කළ යුතුයි. නිවෙසේ විවිධ බිත්තිවල ඇති උස මට්ටම්, වහලයට හෝ ස්ලැබ් එකට ඇති උස, වහල අතර උස් වෙනස්කම්, මිදුලේ භූ විෂමතා ලක්ෂණ හෝ නිවෙස ඇතුළත පොළොවේ ඇති විවිධ උස් වෙනස්කම්, ස්ලැබ් එක කපා පහළ පෙනෙන පරිදි විවෘතකර ඇති ස්ථාන යනාදී දත්ත මනාව අධ්‍යයනය කරමින් ඉදිකිරීමේ වැඩ කටයුතු සිදු කළ යුතයි. නිවෙසක අලංකාරය තීව්‍ර කිරීමට පරිමාමිතික අවකාශ නිර්මාණය කිරීම සහ එක් එක් අංගයන් සඳහා අනුපාතිකව උස මට්ටම් ඇතුළත් කිරීම සහ අන්‍යෝන්‍ය ගැළපීම අත්‍යවශ්‍ය දෙයක්. ඒ නිසා නිවාස සැලසුමට ඇතුළත් කර ඇති මෙම ලක්ෂණ ඒ අයුරින්ම ඉදිකිරිමේ දී අනුගමනය කළේ නැත්නම් සැලසුමේ ඇති අලංකාරය ඉදිකිරීමෙන් ඔබට දක්නට ලැබෙන්නේ නැහැ.

උපදෙස්

සිවිල් ඉංජිනේරු, වාස්තු විද්‍යා විශාරද,

ආචාර්ය ගයාන් එරමුදුගොඩ

 

2020/01/08 තරුණි බලන්න