පැළ සකසා ගත හැකි ක්‍රම කිහිපයක්

මැයි 20, 2020

පසුගිය සමයේ ලැබූ විවේකී කාලවකවානුව ඇත්තටම වෙස් වළාගත් ආශීර්වාදයක් වාගෙයි. ඒ විවේකය ප්‍රයෝජනයට ගනිමින් බොහෝදෙනකු තමන්ට හිමි පුංචි ඉඩකඩෙහි පවා වගාවට යොමුවීම එහි එක් ප්‍රතිඵලයකි.

එහෙත් පැවැති ඇඳිරි නීතිය සහ හදිසි තත්ත්වය නිසාම වගාවට අවශ්‍ය බීජ හෝ පැළ ලබාගැනීමේ ගැටලුවට ඔබත් මුහුණ දුන්නා නිසැකයි. ඒත් උත්සාහයක් ගතහොත් ඕනෑම ගැටලුවකට පිළිතුරක් ලබාගැනීමත් දුෂ්කර නොවේවි.

මේ නිසාම ඔබේ ගෙවතු වගාව සම්පූර්ණ කරගන්නට පැළ සකසා ගතහැකි ක්‍රම කිහිපයක් සහ ඒ සඳහා යොදාගත හැකි එළවළු, පලා වර්ග කිහිපයක් පිළිබඳ ඔබව දැනුවත් කරන්නයි මේ සූදානම.

මේවා සකසා ගත හැකි ක්‍රම කිහිපයකි.

 1. නිවෙසේ එදිනෙදා පරිභෝජනයට රැගෙන එන එළවළු, පලා ආදියේ කොටස්වලින්

 2. බීජ පැළ කරගැනීම

 3. අතු, ඉති පැළ කිරීම

 

1. නිවෙසට රැගෙන එන එළවළු, පලා කොටස් සිටුවීම

කල්පනාකර බලන්න. එදිනෙදා ඔබේ පරිභෝජනයට රැගෙන එන බොහොමයක් එළවළු, පලා ආදියෙන් පැළ ලබාගත හැකියි නේද ?

කැරට්, රාබු, නෝකෝල්, බීට්, ලීක්ස් වැනි එළවළු වර්ගවලින් එකක්, දෙකක් ඔබ සෑම සතියකම පාහේ නිවෙසට රැගෙන එනවා නේද ? මේවායේ අලය කොටස සහ ගස් කොටස හොඳින් වෙන් කරගත හැකි අතර ගස් කොටස නැවත සිටුවා ගන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් මේවායේ කැපුම් පෘෂ්ඨය මත දිලීර නාශකයක් තවරාගත යුතු වේ. නමුත් මෙම අවස්ථාවේ දිලීර නාශක සපයා ගැනීමත් අපහසුයි.

ඒනිසා අපි නිවෙසේදීම දිලීර නාශකයක් සකසා ගනිමු. මේ සඳහා දර ළිපෙන් ඉවත්කරන අඟුරු කැබලි හොඳින් කුඩු කරගන්න. මේවා ජලය ස්වල්පයක දියකර ගැනීමෙන් අපූරු දිලීර නාශකයක් සකසා ගත හැකියි.

ඊට අමතරව ඔබට ලීක්ස් වැනි එළවළුවක කොළ කොටස පරිභෝජනයට ගෙන ඉතිරිවන මුල් සහිත සුදු පැහැ කොටස් සිටුවා ගත හැකියි.

 

 

උපදෙස් - ප්‍රවීණ උද්‍යාන අලංකරණ

ශිල්පී, විසිතුරු මල් වගා උපදේශක, කෘෂ ි විද්‍යා ශූරී, මාබොදලේ

රංජිත් කළුආරච්චි

 

2020/05/20 තරුණි පුවත්පත බලන්න