ඔබේ ව්‍යාපාරික විසිතුරු මල් වගාව අඩපණ ද ?

අඛණ්ඩව රැකබලාගන්න මේ හොඳම කාලයයි....
මැයි 27, 2020

අඩු පිරිවැයකින් වැඩිම ලාභයක් සහිතව ඉතා මෑතක දී ලංකාව තුළ බිහිවූ ව්‍යාපාරයක් ඇත්නම් එය විසිතුරු මල් වගා ව්‍යාපාරයයි.

විශේෂයෙන් ම පහළ පාන්තික සමාජයේ මෙන්ම ඉහළ පාන්තික සමාජයේ අය ද එක ලෙස මෙම ව්‍යාපාරයේ නිරත වී සිටින අතර ඒ බොහොමයක් දෙනා කාන්තාවන් වීමත් විශේෂත්වයක්.

එමෙන්ම මෙම විසිතුරු මල් වගා ව්‍යාපාරය ද ක්ෂේත්‍ර ගණනාවක් පුරා විහිදී යයි. එනම් ඇන්තුරියම්, ඕකිඩ් වැනි කැපුම් මල් වගා ව්‍යාපාරය, විදේශීය රටවලට අපනයනය උදෙසා කරනු ලබන මල් සහ විසිතුරු පත්‍ර වගා ව්‍යාපාරය, ඒවායේ තොග සහ සිල්ලර ව්‍යාපාර, විසිතුරු පැළ තවාන් මඟින් පැළ බෝකිරීම, කොන්ත්‍රාත් ක්‍රමයට පැළ පරිණත තත්ත්වයට පත් කර දීමේ ව්‍යාපාර, මල් පැළ හෝ විසිතුරු පත්‍රික ශාක කුලියට ලබා දීමේ ව්‍යාපාර ආදී වශයෙන් මේවා විවිධාංගීකරණය කළ හැකි වේ .

ඉතින් මේ කිනම් ආකාරයට වුවද වර්තමානයේ මෙරට සේම ලෝකය පුරා පැතිරී ඇති කොවිඩ් 19 වසංගතය නිසා සියලුම ව්‍යාපාරවලට අත්වූ ඉරණම මෙම විසිතුරු මල් වගා ව්‍යාපාරයටත් එල්ල වී තිබේ. ඒ හරහා මේ ව්‍යාපාරයෙන් යැපුණු දහස් සංඛ්‍යාත පිරිසකට තම දෛනික ආදායම් මාර්ග ඇහිරී තම බලාපොරොත්තු දිනෙන් දින බිඳ වැටෙමින් පවතී .

අඛණ්ඩව රැකබලා ගැනීම

එහෙත් ඔබ දැනගත යුතුම දෙයක් ඇත. එනම් මේ විසිතුරු මල් වගා ව්‍යාපාරය වෙනත් ව්‍යාපාර මෙන් නොවේ. මෙය අතහැර දමා කාලයක් ගත වුවද නැවතත් ආරම්භ කළ හැකි වේවි . නමුදු මෙය ජීවී ශාක සමඟ සබැඳීව පවත්නා ව්‍යාපාරයක් බැවින් එම ශාක අඛණ්ඩව රැක බලා ගැනීම ඉතා වැදගත් වේ .

වගාව අතහැර දමා

නමුත් මේ දිනවල පවත්නා තත්ත්වය මත ඇතැමකුගේ ආදායම් මාර්ග අහිමි වීම හේතු කරගෙන සිය වගාව දෙස නොබලනා තත්ත්වයකට පත්ව තිබේ. විශේෂයෙන්ම කලට වේලාවට ජලය, පොහොර සැපයීම සහ නිසි පරිදි නඩත්තු කටයුතු සඳහා ද උනන්දුවක් නොදක්වයි. මේ නිසා වගා භූමිය තුළ වල් පැළෑටි ගහණය වැඩිවීම, ජලය සැපයීම ඇණහිටීම නිසා ඇතැම් ශාක වියළී මළානික ස්වභාවයකට පතවීම හෝ සමහර විට මියයාම ද සිදුවිය හැකිය..මේ තත්ත්වය මත ශාක වර්ධනය බාල වෙමින්, ව්‍යාපාරික පෙනුම විනාශ වෙමින් පවතී. කෙටියෙන්ම පැවසුවහොත් ඇතැමුන්ගේ ව්‍යාපාරික වගාව පිළිවෙළක් නොමැති අපිරිසිදු ස්වභාවයකට පත් වෙමින් පවතියි.

 

උපදෙස්

විසිතුරු මල් වගා උපදේශක

මාබොදලේ රංජිත් කළුආරච්චි

 

2020/05/27 තරුණි  පුවත්පත බලන්න.