ගෙදරක පරිහානිය පටන් ගන්නේ ජල කරාමයෙන්

ගෘහණියකගේ දැනුම් පොතේ පළමු පාඩම
ජුනි 10, 2020

නර්මදා කාලයකට පස්සේ ගේ දොර අස්පස් කරලා පිරිසුදු කරන්න පටන් ගත්තා. මුලින්ම බාත්රූම් එක, ඊට පස්සේ මුළුතැන්ගේ තමයි වැඩියෙන්ම අපිරිසුදු වෙලා තිබුණේ. පැය දෙක තුනක් මහන්සි වුණාට පස්සේ බාත්රූම් එක නම් සුද්ද කර ගත්තා. ඊට පස්සේ තමයි ලොකුම වැඩේ.

මුළුතැන්ගෙයි සින්ක් දෙක තමයි වැඩියෙන්ම අපිරිසුදු වෙලා තිබුණේ. ඒ යටින් තිබුණ පැන්ට්‍රි කබඩ් අස්සේ පරණ බෝතල් ටින් පිරිලා. පොඩ්ඩක් ඇරලා ඒ ටිකත් සුද්ද කරන්න හිතුවා. සින්ක් එකෙන් වතුර බහින බටේ ගාව තියෙන ගලිය නිකමට නර්මදා ඇරියේ පුංචි ගඳක් ආපු නිසයි.

අපොයි... මුළු පළාතම ගඳ ගහන්න පටන් ගත්තා. හරියට පොදු වැසිකිළියක් ඇරියා වගේ මුළු පළාතම ගඳයි.

ඒ විතරක් නෙවෙයි. බටේ ගාව සම්පූර්ණයෙන්ම වැහිලා. තව ටික දවසක් ගියා නම් මුළු මුළුතැන්ගෙයම වතුර පිටාර ගලනවා.

මේ වගේ අපේ ගෙවල් වල කොයි තරම් අඩුපාඩු තියෙනවා ද? ඒ වගේ අඩුපාඩු වැඩියෙන්ම පේන්නේ අපි ගෙවල්වල ඉන්න මේ කාලේ. හුඟක් ගෙවල්වල වතුර විශාල ප්‍රමාණයක් අපතේ යනවා. ඒක සිද්ධ වෙන්නේ අප නොදැනුවත්වම. විනාඩියකට බිංදුව බැඟින් ජලය අපතේ ගියොත් එය මිලි ලීටර එකක යැයි සිතමු‍. පැයක් යනකොට මිලි ලීටර 60ක්. දවසකට මිලි ලීටර 1440 ක්. අවුරුද්දකට මිලි ලීටර 525,660ක්අපි අපතේ යවනවා. ඒ ප්‍රමාණය හැම ගෙදරකම මීට වඩා විසිතිස් ගුණයකින් වැඩියි.

ගෘහණියක් ලෙස මෙය ඔබට වඩා ගැඹුරින් කල්පනා කළ යුතු ගැටලුවක්. ගෙදරක වතුර බිංදුවක් අපතේ යනවා කියන්නේ එය ඔබගේ දියුණුවේ පරිහානියේ ලක්ෂණයක්.

නැතිනම් අප නොසිතා සිදු කරන අපතේ යැවීමක්. අප නිවසට ජල කරාම, ජල ටැංකි වැසිකිළි, වතුර බේසම් ආදිය විශාල ප්‍රමාණයක් තිබෙනවා.

මේවා සවිකළාට පස්සේ නඩත්තු කරන්නේ නැති නිසා තමයි මේ තරම් විශාල පරිහානියක් සිද්ද වෙන්නේ. ඒකට මූලික හේතුව අපේ ගෘහණියන්ට අඩුම තරමේ ගෙදරක ජල කරාමයක් කැඩුණහම ජල කරාමයක් සවි කර ගැනීම‍ට වත් ප්‍රායෝගික දැනුමක් නොමැතිකම.

සියලු දේ තම සැමියා කරලා දෙනකම් බලාගෙන ඉන්න සමහර ගෘහණියො ගෙදරක කරාමයක් කැඩුණොත් එය සාදවා ගන්න කාර්මිකයෙකු සොයා ගන්න දස අතේ දුවනවා. (සමහර සැමියන්ටත් මේ වගේ සාමාන්‍ය දැනුම නැහැ) එ‍තකොට විශාල ජල ප්‍රමාණයක් අපතේ ගිහින්. සමහර ගෙවල්වල ජල කරාමවල වතුර කාන්දු වෙනවා, ටැංකිවල ජලය කාන්දු වෙනවා, ජල කරාමවලින් වතුර එන්නේ හෙමින්, ජලය බැස යන ගලිය සුද්ද පවිත්‍ර කරගන්න දැනුමක් නෑ. මේ වගේ ගැටලුවල‍ට පුංචි හරි විසඳුමක් දෙන්න පුළුවන් වෙන්නේ ඔබට ප්‍රායෝගිකව ඒ දේවල් ගැන දැනුමක් තිබුණොත් විතරයි.

මොහොතක් සිතන්න... ඔබේ ගෙදර මේ වගේ ජලය කොයිතරම් අපතේ යනව ද? අපි අද ඒ ගැන තරමක් සාකච්ඡා කරමු. නිවෙසක ජලය කාන්දු වෙන ස්ථාන හත අ‍ටක් තියෙනවා. ඒ ස්ථාන මොනවද කියලා අපි මුලින්ම දැනගනිමු.

1.ජල ටැංකිය‍ - ඉපිලුම් කපාටය (ජ්තධබඥප ඍචතමඥ) හරිහැටි ක්‍රියා නොකිරීම නිසා විශාල ජල ප්‍රමාණයක් අපතේ යන්නේ ඒ ගැන අපට අවබෝධයක් නැතිකමින්. ගෘහණියකට ජල ටැංකියක ක්‍රියාකාරීත්වය ගැන අවබෝධයක් තිබීම වඩාත් වැදගත් වන්නේ මේ නිසායි. සමහරවිට මෙසේ ජලය කාන්දු වීම කොමඩ් සිටින් වලත් සිදු වෙනවා.

2. මුළුතැන්ගෙයි කරාමය (හංසගෙල කරාමය) - මෙහි ජලය අපතේ යන්නේ කෙමිය සහ ඇල්ලුම හරිහැටි ක්‍රියා නොකිරීමෙන් ඒවා හොඳීන් නඩත්තු කිරීම ගෘහණියකගේ වගකීමක්

3. උද්‍යාන කරාම සහ වතුර මල්

4. රෙදි සෝදන යන්ත්‍රය අසල

5. නාන කරාමය

    i. දෝවන වතුර මල (බිඩේ ස්ප්‍රේ ෂවර්)

    ii. නාන වතුර මල (බාත් ෂවර්)

    iii. වොෂ් බේසින් එක - මෙයින් නිහඬව විශාල ජල ප්‍රමාණයක් අපතේ යයි.

 

6. මීට අමතරව සෑම ජල සන්ධියකම කරාම, කපාට සහ කෙවෙනි වලදී ජල බිංදුව බිංදුව කාන්දු වන අවස්ථා ‍තිබේ.

 

උපදෙස් : ජල නළ කාර්මික උපදේශක

(ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය)

අජන්ත කාරියවසම්

2020/06/08 තරුණි බලන්න.