ලස්සන ගෙමිදුලකට අගනා අදහස්

ජුනි 17, 2020

ගෙමිදුලේ අලංකාරය නිවහන සරසන ආභරණයක් වැනිය. ඒ නිසාම අපි ගෙමිදුලේ සුන්දරත්වය ඔප කරගන්නට විවිධ අංග එක්කරන්නෙමු. හරිත පැහැයෙන් බබළන ගෙමිදුල සිත නිවයි. විඩාබර මොහොතක ගෙමිදුලට වී එහි සුන්දරත්වය විඳගන්න අප අමතක නොකරන්නේ එහෙයිනි. සැබෑවටම සුන්දර ගෙමිදුලක් යනු මිල කළ නොහැකි අගනා සම්පතකි.

ගෙවත්ත ලස්සන කරන්න හිතන බොහෝ අයගේ පළමු තෝරා ගැනීම මල් පිපෙන ශාක හා විචිත්‍ර පත්‍ර විසිතුරු ශාකයි. අපේ ළඳුන් වැඩි වශයෙන් හිතන්නේ ද මල් ගස් ටිකක් සිටවූ පමණින් ගෙවත්ත ලස්සන වන බවයි. එහෙත් එය වැරැදි සංකල්පයකි. එකදු මල් පැළයක් නැතුව ද අපට ගෙමිදුලක් අලංකාර කරගත හැකියි. ඒනිසා මල් තෝරා ගැනීමට පෙර අප ගෙමිදුලේ හැඩය, ප්‍රමාණය මෙන්ම එය අලංකාර කරන ක්‍රමය සැලකිල්ලට ගත යුතුය. එමෙන්ම අපේ නිවහනට ගැළැපෙන ලෙස ගෙමිදුල සකස්කර ගන්නට සැලකිලිමත් විය යුතුයි. ඒ සඳහා අප පළමුව දළ සැකිල්ලක් ඇඳ ගත යුතුයි. දළ සැකැස්මක් නැත්නම් ප්ලෑන් එකක් ඇඳගැනීමෙන් ගෙමිදුල අලංකාර කරගැනීම පහසු වේ. එයට එක්කර ගත යුතු අංග ද තීරණය කළ යුතුයි.

අපිට ගෙමිදුල හැඩකර ගන්නට එක් කළ හැකි දෑ ද බොහෝය. තණ පළස්, බංකු, ආරුක්කු, පඩි පෙල්, ගිමන්හල්, ප්‍රතිමා, ගල් වර්ග, දිය ඇලි, පොකුණු, මල් පිපෙන ශාක, විචිත්‍ර පත්‍ර ශාක මෙන්ම එළවළු හා

පලතුරු ගස් ද ඒ අතර වේ. කොන්ක්‍රීට් නිර්මාණ මෙන්ම ග්‍රීල්, වානේ හා ෆයිබර්වලින් කළ නිර්මාණ ද ගෙමිදුල වර්ණවත් කරයි.

එහෙත් අපට මුදල් තිබුණු පළියටවත් මිදුලේ ඉඩ තිබූ පළියටවත් තිබෙන හැමදේම එක්කර ගත නොහැකියි. අලංකාරයක් ගෙනදෙන ලෙස එක් කරගත යුතු අංග කෙරෙහි සැලකිලිමත් විය යුතුයි. ඒ නිසාම අපි ඔබේ ගෙමිදුල අලංකාර කරගන්නට එක්කරගත හැකි අංග කිහිපයක් හා අලංකාර ලෙස සැකසූ ගෙමිදුල් කිහිපයක් මෙලෙස ගෙන එන්නෙමු. මේ අංග ඔබේ ගෙමිදුල හැඩකර ගන්නත් කදිම අදහස් ගෙන දේවි. මේ දිනවල වැඩි කාලයක් ගත වෙන්නේ නිවෙසේ නිසා පවුලේ සියල්ලන්ටම එක්වී ගෙමිදුල හැඩකර ගන්නට කාලය වෙන්කර ගත හැකියි.

දැනට ඇති ගෙමිදුල වෙනස්කර නිවහනට අලුත් පෙනුමක් ලබාදෙන්න ඔබටත් පුළුවන්. බලන්න, මෙහි දැක්වෙන මල් ආරුක්කු, ගිමන්හල්, තණ පලස් ආදී අංග ඔබේ ගෙමිදුල අලංකාර කරගන්න අගනා අදහස් ගෙන දේවි.

 

අන්තර්ජාලයෙනි

 

 

2020/06/17 තරුණි පුවත්පත බලන්න.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.