නිදන කාමරය සරසන මේස විදුලි පහන් ආවරණ

දෙසැම්බර් 16, 2020

ජීවිතයේ සරතැස නිවා සනහාලන සොඳුරු නවාතැන්පොළ ඔබේ නිවහනයි. දහවල් කාලයේ හිරු එළියෙන් ඒකාලෝකවන මේ නිවහන රාත්‍රී කාලයේ ආලෝකවත් වන්නේ විදුලියෙනි. එබැවින් නිවෙසේ විවිධ ස්ථානවලට එනම් සිවිලිම, බිත්ති ආදියට සේම ගෙමිදුලේ තාප්ප සහ ගෙඋයනට ගැළපෙන පරිදි අලංකාර විදුලි පහන් තෝරා ගැනීමට සිදු වේ.

මෙහිදී මනා නිමාවකින් යුත්, කල් පවත්නා විදුලි පහන් තෝරා ගැනීමට වැඩිදෙනකු විමසිලිමත් වන්නේ එමඟින් නිවෙස ආලෝකවත් කරනවා සේම නිවෙසට අපූරු චමත්කාරයක්, සුන්දරත්වයත් එකතු කරනා බැවිනි.

සිවිලිම සහ බිත්ති හැඩකරන විදුලි පහන්වලට අමතරව නිවෙසේ දැකිය හැකි තවත් විදුලි පහන් වර්ගයකි මේස ලාම්පු. රාත්‍රී කාලයේ එතරම් තද ආලෝකයක් අවශ්‍ය නොවන විට විශේෂයෙන්ම නිදන කාමර සඳහා බිත්තියේ සවිකළ විදුලි පහන්වලට අමතරව මෙම මේස ලාම්පු ද තෝරා ගනියි. රාත්‍රී කාලයේ නින්දට යනතෙක් පොතපත කියවීමට හුරුපුරුදුව සිටින බොහෝ දෙනකුට ඇසට පීඩාකාරී නොවන සැහැල්ලු, සෞම්‍ය එළියක් අවශ්‍ය කරන අතර ඒ සඳහා වඩාත්ම සුදුසු වන්නේ මේස විදුලි පහන් ය. දැව තේමාව කරගත් මේ අපූරු මේස ලාම්පු කිහිපය දෙස බලන්න. අලුත්ම සංකල්පයක් නේද ? ඒ වාගේම හරිම සරලයි. ඔබ සතු නිර්මාණාත්මක හැකියාව යොදාගතහොත් මෙවැනි මේස ලාම්පු ඔබටම සකසා ගත හැකියි. ඒ සඳහා අවශ්‍ය වන්නේ ශිල්පීය දැනුම, අමුද්‍රව්‍ය කිහිපයක් සහ නිර්මාණාත්මකව සිතීම පමණි.

ඉතින් උත්සාහකර බලන්න. නව වසරේ ඔබේ නිදන කාමරයටත් මෙවැනි අපූරු විදුලි ලාම්පුවක් එකතු කරගත හැකිදැයි කියා .

 

ඡායාරූප - අන්තර්ජාලයෙනි