ආහාර රස ගන්වනවිස නසන කහ

දේශීය රසකාරක භෝග වගාව - 1
ජනවාරි 13, 2021

ඔබත් කහ වගා කළාද?

මේ අස්වනු නෙළාගන්නා කාලයයි

ආහාර රසවත් කිරීමෙහිලා ප්‍රයෝජනයට ගැනෙන කුළුබඩු එහෙමත් නැතිනම් දේශීය රසකාරකයන් අපේ මුළුතැන්ගෙයට නැතිවම බැරිය.

විශේෂයෙන්ම ආහාරයේ රසය, ගුණය, වර්ණය ඉහළ නංවන මේ රසකාරක තවත් විටෙක ඖෂධයක් ලෙසින් ද හැඩරුව ඔප්නංවන ප්‍රතිකර්මයක් සේ ද ප්‍රයෝජනයට ගැනේ.

ඒ නිසාමදෝ මේ බොහොමයක් කුළුබඩු ඉහළ අගයක් ගන්නා අතර කාලාන්තරයක් තිස්සේ ඒවා වගා කිරීමට සහ අලෙවියට ද ශ්‍රී ලාංකික ජනතාව පුරුදු පුහුණු වී සිටිති.

විශේෂයෙන්ම ඈත අතීතයේ විසූ කෘෂිකාර්මික දිවි පෙවෙතක් ගතකළ අපේ පැරැන්නන් හරි අපූරුවට මේ භෝග වගා කළ අතර පසුකාලීනව ඒවා විදෙස් රටවලට අපනයනය කිරීම ද සිදුවිය.

අනතුරුව ඒ වෙනුවට විවිධ කෘත්‍රිම රසකාරක වෙළෙඳපොළට එකතු වී ක්‍රම ක්‍රමයෙන් ආහාර වේලට වසවිස මුසුවීම සිදුවූයේ අපිටත් නොදැනීමය.

මේ වනවිට එහි ආදීනව ගැන බොහෝ කතාබහට ලක්වන අතර එහි ප්‍රතිඵලයක් ලෙසින්දෝ නැවතත් සෙමෙන් සෙමෙන් මේ කුළුබඩු භාවිත කරන්නටත්, ඒවා වගා කරන්නටත් අපේ ඇත්තෝ පුරුදු වෙමින් සිටිති.

පසුගිය වකවානුවේ මේ ඇතැම් කුළුබඩු වෙළෙඳපොළේ බොහෝ සෙයින් හිඟවිය.

එමෙන්ම ඒවා ලබාගැනීම සඳහා ඉහළ වියදමක් දැරීමට ද සිදුවිය. මේ නිසාම ගෙවත්ත තුළ ඉඩකඩ ඇති පරිදි තම පරිභෝජනය සඳහා හෝ විවිධ දේ වගා කිරීමට ජනතාව හුරු වූහ. කොරෝනා වසංගතයත් සමඟම නිවෙස් තුළට කොටු වීමෙන් මේ වගා සංග්‍රාමය වඩාත් හොඳින් දියුණු වූ අතර වර්තමානය වනවිට තම පරිභෝජනයට අවශ්‍ය එළවළු, පලා වස විසෙන් තොරව තම ගෙවත්තේම වවාගන්නා පිරිස බොහෝමයි.

ඉතින් සෞභාග්‍යමත් ගෙවත්තක් තනන්නට පෙරුම් පුරනා ඒ ඔබ වෙනුවෙන් නව වසරේ අප තිළිණ කරනා ලිපි මාලාවේ පළමුවැන්නයි මේ.

කහ, ගම්මිරිස්, කුරුඳුපොතු, සාදික්කා, එනසාල්, කරාබුනැටි ආදී වශයෙන් වූ මේ දේශීය කුළුබඩු වගා කරනා ආකාරය පිළිබඳ පමණක් නොව ඒවා වෙළෙඳපොළට යොමු කිරීම, පරිභෝජනය සඳහා පිළියෙල කිරීම සහ ඒ ඇසුරෙන් ඖෂධ, රූපලාවණ්‍ය නිෂ්පාදන සකස් කරන අයුරු පිළිබඳ ද මෙහිදී ඔබව දැනුවත් කරන්නට බලාපොරොත්තු වෙමු.

ඖෂධයක්, විසබීජ නාශකයක් සේම ආහාර රසවත් කරනා, වර්ණවත් කරනා රසකාරකයක් වූ කහ ගැනයි අද අපේ කතාබහ.

කහ

පසුගිය සමයේ හිස එසවූ කොරෝනා වසංගතයත් සමඟම සුවිශාල කහ හිඟයකට ද මුහුණ පෑමට අපට සිදුවුණා.

ඒ ආහාර රසගන්වනයක් සේම විසබීජ නාශකයක් ලෙසින් ද අතීතයේ පටන් කහ සඳහා තිබූ ඉහළ ඉල්ලුම නිසාමයි.

වෙළෙඳපොළේ කහ මිලදී ගැනීමට නැතිවූ නිසාම බොහෝ පිරිසක් තමන්ට හැකි පරිදි ගෙවත්තේ සහ විවිධ බඳුන්, සහල් කවර, පොලිතින් මලු ආදියේ කහ වවන්නට පුරුදු වූහ.

එලෙස සිටුවා ඔබ බොහෝම ආදරයෙන් රැකබලාගත් කහ වගාව මේ වනවිට ඉතාමත් සාරවත්ව වැඩී තිබෙනු නොඅනුමානයි.

දලු, කොළ ලියලමින් ගසින් ගස එකතු වෙමින් පඳුරක් ලෙසින් වැඩුණු අපූරු කහ පඳුරක් එහෙමත් නැතිනම් කහ වගාවක් ඔබේ ගෙවත්ත සරසනවා ඇති.

කහ අස්වැන්න

සාමාන්‍යයෙන් කහ සිටුවීම ආරම්භ කරන්නේ මාර්තු සහ අප්‍රේල් මාසවලදීය. එලෙස සිටවූ කහ වගාව දිනෙන් දින වර්ධනය වී මාස නවයක්, දහයක් පමණ ගතවන විට පත්‍ර කහ පැහැයට හැරී වියළීමට පටන් ගනියි. ඒ අවස්ථාව වනවිට කහ රයිසෝම හෙවත් කහ අල හොඳින් මේරූ තත්ත්වයට පත්ව ඇත. එනම් කහ අස්වැන්න නෙළාගත හැකි කාල වකවානුවයි.

වසරක මුල් කාර්තුව අවසානයේ සිටවූ කහ වගාවට මාස දහයක් ගතවනවා යනු ඊළඟ වසරේ මුල් කාර්තුවේ ආරම්භයයි. එනම් ඊළඟ වසරේ ජනවාරි, පෙබරවාරි, මාර්තු යනු කහ අස්වැන්න නෙළාගන්නා කාලයයි. ඒ අනුව මේ උදාවී ඇත්තේ පසුගිය වසරේ ඔබ සිටුවා ගත් කහ අස්වැන්න නෙළාගන්නා කාල පරාසයයි. එබැවින් කහ වගාව පිළිබඳ දැනුවත්වීමට ප්‍රථම සිටුවාගත් වගාව උදුරා පරිභෝජනයට සුදුසු ආකාරයට සකසා ගන්නා ආකාරය පිළිබඳව අපි පළමුව දැනගත යුතුය.

* එබැවින් කහ අස්වනු නෙළන හැටි, ගබඩා කරන හැටි ලබන සතියේ දැනුවත් වෙමු.

 

තොරතුරු සහ ඡායාරූප සැපයීම - අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හා සන්නිවේදන අංශයේ,

දිශාන්ති නිරෝෂා කොඩිතුවක්කු

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.