ගෙඋයනට පලතුරු ගස් එකතු කිරීමේ වැදගත්කම

ජනවාරි 13, 2021

 

නගරයක ජීවත්වන පොඩි පැටවුන් වාගේම වැඩිහිටියනුත් පුංචි හෝ නිවාඩුවක් ලැබුණහොත් තමන්ගේ මවුපියන් වාසය කරන ගම් දනව් කරා ඉගිල යන්න මොහොතක්වත් පමා වෙන්නේ නැහැ.

මොකද හිතේ හැටියට දුව පනින්න, සෙල්ලම් කරන්න විතරක් නෙමෙයි නිදහසේ හුස්ම පොදක් ගන්නත් ගම තරම් වටින පරිසරයක් තවත් අපිට නැති නිසා. විශේෂයෙන්ම ගමක හැදී වැඩිලා රැකියාව, විවාහය, අඹු දරුවන් නිසා නගරයේ ජීවත්වන බොහෝ දෙනකුගේ හිත තාමත් ගමේ නතර වෙලා. ඒ තරම්ම අපූරු පරිසරයක් තමයි ගමට උරුම වෙලා තියෙන්නේ. ඉතිං ඒ පරිසරයේ සුන්දරත්වය අත්විඳීන්න වැඩිහිටියන් වූ අපි වාගේම අපේ පුංචි දරු පැටවුනුත් හරිම ආසයි.

නැවුම්, පිරිසිදු සුළං රැල්ලක පහස වාගේම වස විසෙන් තොර එළවළුවක, පලතුරක රස ගුණය විඳීන්න ගමේ ගෙවත්ත තරම් හොඳ තෝතැන්නක් තවත් නම් කොයින්ද? විශේෂයෙන්ම හිතේ හැටියට රස විඳීන්න අඹ, ජම්බු, පේර, ලොවි, දොඩම්, නාරං, වැල වරකා ඵලවලින් බරවුණු සීයගෙ, ආත්තම්මගෙ ගෙවත්ත තරම් වටින ඉඩමක් පොඩිත්තන්ට තවත් නැහැ.

ඇත්තටම අතීතයේ පටන් අපේ ගමක නිවෙසට වටිනාකමක් හිමිවුණේ ඒ නිවෙස සතු පෞරාණික බව නිසා පමණක් නොවේ. ඒ නිවෙස වටා යෝධයන් සේ නැඟී සිටි අපූරු ගහකොළ සහිත පරිසරයත් එහි වටිනා පෙනුම සඳහා බලපෑවා.

යම් භූමියක ඉදිවූ නිවෙසක වටිනාකම තක්සේරු කරන්නට එම භූමියේ වට ප්‍රමාණය හෝ නිවෙසෙහි පෙනුම, විශාලත්වය පමණක් බල නොපානා බව ඔබ හොඳීන් දනී. එහිදී භූමියේ පිහිටීම සැලකිල්ලට ගනිමින් ඒ මත සිදුකර ඇති අලංකරණයත්, ඊට යොදාගෙන ඇති ගස්වැල්, මල්, පලතුරු යනාදියේ විවිධත්වයත් එම වටිනාකම කෙරෙහි විශාල බලපෑමක් ඇතිකරයි. මන්ද මූල්‍යමය වටිනාකම සේම පාරිසරික වටිනාකමක් ද එහි අන්තර්ගත බැවිනි. මේ නිසාමදෝ වර්තමානයේ කුඩා ඉඩක පවා ඉදිකරනා නවීන උද්‍යාන සැලසුම්වලට ද විවිධත්වයෙන් යුත් ඵලදායී ශාක ඇතුළත් කිරීම බොහෝ දෙනෙක් අපේක්ෂා කරති. එහිදී පලතුරු පැළ වෙනුවෙන් විශේෂ සැලකිල්ලක් සහ උනන්දුවක් දැක්වීම ද වඩා වැදගත්.

ශාකයේ විශාලත්වය

උද්‍යානය වෙනුවෙන් ඉතාමත් සීමිත ඉඩකඩක් වෙන් කළහැකි තත්ත්වයක දී සිය නිවෙසටත්, යාබද නිවෙස්වලටත් කරදරයක් නොවන ආකාරයට ශාක සිටුවීම තරමක ගැටලුවකි. අතු පතර විහිදී හොඳීන් වැඩෙනා අඹ, කොස්, රඹුටන් වැනි ශාක රෝපණය එහිදී වඩාත් ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය කරන්නකි.

කප්පාදුව සහ නඩත්තුව

එබැවින් ඊට මූලික විසඳුම වන්නේ එම ශාක නිසි කප්පාදුවකින් සහ නිවැරැදි නඩත්තුවක් යටතේ වර්ධනය වීමට ඉඩ සැලසීමයි. එමෙන්ම මෙහිදී වඩා විශාල නොවන ශාක හඳුනාගෙන විවිධත්වයෙන් යුතු ශාක සිටුවා ගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතු වේ.

බඳුන්ගත පලතුරු භෝග

මේ වනවිට බඳුන්ගත පලතුරු පැළ රෝපණයට ද ඉහළ ඉල්ලුමක් පවතී. එයට හේතුව වී ඇත්තේ නඩත්තුව, පැළ ප්‍රවාහනය මෙන්ම ශාකයට බලපෑම් කළ හැකි සාධක පාලනයට ඇති පහසුවයි. මූලිකවම නිදහස් බිමක සිටුවන්නට යෙදෙන ශාකයක මූල පද්ධතියේ ව්‍යාප්තියට අදාළ නිදහස බඳුන් තුළ සීමාවීම මත ශාකයේ අනවශ්‍ය වර්ධනය සීමා වේ.

ඒ කෙසේ වෙතත් ඔබේ ගෙඋයනේ බිම සිටවූ ශාකයක වර්ධනය පාලනය කිරීමට නම් ඊට අවශ්‍ය සාධක කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු වේ. එනම් පලතුරු පැළ සඳහා,

* නිසි ලෙස ජලය සැපයීම

* නිසි පරිදි හිරු එළිය පතිතවීම

* අවශ්‍ය ඌණතා හඳුනා නිසි කලට

වේලාවට සුදුසු පොහොර යෙදීම

* රෝග කාරකයන් හඳුනාගැනීම

* පළිබෝධ මර්ධනය

* නිසි කප්පාදුව

ආදී කරුණු නිසි ආකාරයෙන් ඉටු කළහොත් අදාළ පරිසරයට හොඳීන් අනුගත කරගත හැකිය. මෙලෙස නිවැරැදි පාලනයක් සිදුවුවහොත් වසරකින් හෝ වසර දෙකකින් සිය අවශ්‍යතා සපුරන හොඳ ඵලදාවක් හිමි ශාක පද්ධතියක් ඔබට ගොඩනගා ගත හැකි වේ.

එවැනි පලතුරු ශාක රෝපණයක් යනු කුඩා ගෙවත්තකට වුවද පුදුමයට පත්කළ හැකි ශාක එකතුවක පෙළගැස්මකි.

විශේෂයෙන්ම මසං, කටු අනෝදා, දෙළුම්, ලාවුළු, වෙරළු, ජම්බු, රඹුටන්, අඹ, පේර, අලිගැටපේර, කාමරංගා, ඇඹරැල්ලා මෙලෙස කුඩා ගෙවත්තක අපූරුවට සිටුවා ගත හැකි ශාක වේ.

පලතුරු ශාක සිටුවීමේ වටිනාකම

වස විසෙන් තොරව පැසී ඉදෙන මෙවැනි පලතුරකගසෙහි හැඳෙන සියුම් මලක චමත්කාරය පවා ඔබටත්, ඔබේ කුඩා දරුවන්ටත් අත්විඳීය හැකියි. එමෙන්ම මේ මල් සහ පල කරා ඇදෙන සමනලුන්, කුරුල්ලන්, මීමැස්සන්, ලේනුන්ගේ හැසිරීම් රටා ඔබව ජීවයෙන් පුරවාවි. එය ඔබට, ඔබේ දරුවන්ට සේම අසල්වාසීන්ට, නෑ හිතමිතුරන්ට පවා කදිම දසුනක් මවනවා නොඅනුමානයි.

ගෙවත්තක් යනු නිරන්තරයෙන් වැඩෙන, මල් හටගන්නා, පල හටගන්නා, ලෙඩවෙන, මියයන සජීවි පරිසර පද්ධතියකි. එහි අපූරු හැසිරීම් දෙස දෛනිකව අවධානය යොමු කරන්න. මන්ද එය ඔබට ජීවිතයේ යථාර්ථයද මනාව වටහා දෙන්නකි.

ඵලදායි ගෙවත්ත

එමෙන්ම ඵලදායි ශාක සහිත උද්‍යානයක් ඔබේ දේපළටද ලැබෙන්නේ ඉහළ වටිනාකමකි. ශාක දරාසිටිනා පසෙහි වැස්ම මූල පද්ධතියකින් සවිවී තිබීම හරහා පාංශුඛාදනය අවම වේ. එමඟින් පසෙහි සංයුතියේ ගුණාත්මක බව රැකේ. වැසි ජලය පොළොව අභ්‍යන්තරයට ගලායෑමේදී සිදුවන නිසි පෙරීම පිරිසුදු භූගත ජල දහරාවක් ද පෝෂණය කිරීමකි. එලෙසම පත්‍ර, මල්, පල සහිත ශාක පැතිරීමකින් හෙබි වටපිටාවක් යනු ජෛව විවිධත්වයකින් යුතු පරිසර පද්ධතියක් නිර්මාණය කිරීමකි. එහිදී පිටතින් පැමිණෙන ශබ්දය අවශෝෂණය කරගැනීම නිහඬ සිසිල් පරිසරයක් ඇති ගෙඋයනක හිමිකාරීත්වය ලබාගැනීමකි.