කහ අස්වැන්න පරෙස්සමට නෙළා ගන්න

ජනවාරි 20, 2021

ආහාරයකට අපූර්ව වර්ණයක් රැගෙන එන මුළුතැන්ගෙයි ස්වාභාවික වර්ණ කාරකයකි කහ. එමෙන්ම එය අපේ ආහාරයේ පෙනුම සේම රසය ද වැඩිකරනා රසකාරකයකි.

කහ යනු විටෙක කුළුබඩුවකි. තවත් විටෙක එය ඖෂධයකි. විසබීජ නාශකයකි. විශේෂයෙන්ම හෙළ වෙදකමෙහි බොහෝ ඖෂධ සඳහා ද මෙය යොදා ගැනෙන අතර කහ යනු අපට නැතිවම බැරි භෝගයක් ලෙස සඳහන් කළ හැකියි.

අපට ඉතාමත්ම පහසුවෙන් වෙළෙඳපොළෙන් කහ කුඩු හෝ කැබලි මිලදී ගත හැකියි. නමුත් ඒවායේ ගුණාත්මක තත්ත්වය පිළිබඳ වැඩි විශ්වාසයක් තබා ගත නොහැකිය. එබැවින් වස විසෙන් තොර රසයෙන්, ගුණයෙන් සපිරි කහ ලබා ගැනීමට නම් කහ නිවෙසේදීම සකසා ගත යුතු අතර එය ක්‍රමානුකූලව කළයුතු වේ.

එමෙන්ම පසුගිය කාලයේ කහ ආනයනය තහනම් වූ නිසාම මෙරට වෙළෙඳපොළ තුළ කහ හිඟයක් ද ඇතිවිය. වසංගත රෝග තත්ත්ව හමුවේ මේ දේශීය විසබීජ නාශකය වැඩි පරිභෝජනයට ද ලක් විය. මේ කරුණු කාරණා නිසාම තම තමන්ගේ ගෙවත්තේ සහ ගෙමිදුලේ හැකි ආකාරයට කහ වවන්නට සහ තමන් දන්නා පරිදි ගෙදරදීම කහ සකසා ගන්නට පුරුදු වූහ.

ලැබුණු විවේකයේ කහ පඳුරක් දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් වගා කළද කහ නිෂ්පාදනය යනු බොහෝ දෙනකුට ආගන්තුක කටයුත්තකි. ඒ නිසාම මේ කටයුත්ත පිළිබඳ පියවරෙන් පියවරට අපි ඔබව දැනුවත් කරන්නෙමු.

ඒ අනුව පසුගිය කොරෝනා වසංගත කාලයේ වගා කළ කහ අස්වැන්න පරෙස්සමට නෙළා ගන්නා ආකාරය සහ ඒවා පසු ප්‍රයෝජනය සඳහා ගබඩා කරගැනීම පිළිබඳ අද අපි දැනුවත් වෙමු.

කහ උදුරන්නේ මෙහෙමයි

අමු කහ අල පඳුරක් ලෙස වැඩෙන අතර මෙහි අල පහසුවෙන් කැඩී පළුදු වීමට ඉඩ තිබේ. එබැවින් අලවලට හානි නොවන ආකාරයට කහ ගලවා ගතයුතු අතර ඒ සඳහා මුල්ලුවක් හෝ උදලු මුල්ලුවක් ආධාර කරගන්න. අනතුරුව ලී පතුරක සහයෙන් හෝ අතින් මෙම අල අතර රැඳී ඇති පස් ඉවත්කරන්න. ඒ සමඟම පත්‍ර සහිත ශාක කොටස් සහ මුල් ද කපා ඉවතලන්න.

ඔබ හෙක්ටයාර එකක කහ වගාකර ඇත්නම් සාමාන්‍යයෙන් අමු කහ මෙට්‍රික් ටොන් 15ක් 20ක් අතර ප්‍රමාණයක අස්වැන්නක් නෙළාගත හැකිවේ. එසේ නැතිනම් එතරම් ඉඩකඩක් නොමැති ඔබ කහ වගා කළේ ඉවතලන සහල් මලු හෝ පොලිතින් කවරවල යැයි අපි සිතමු. එසේ නම් එක බෑගයකින් කිලෝග්‍රෑම් 06ක් 08ක් පමණ අමු කහ අස්වැන්නක් ලබාගත හැකියි.

අමු කහ ගබඩා කිරීම

මෙලෙස ගලවාගත් අමු කහ අල මතු ප්‍රයෝජනය සඳහා ගබඩාකර තබා ගත හැකිය. ඒ සඳහා වර්ෂාවෙන් හෝ තෙතමනයෙන් ආරක්ෂා වුණු ආවරණයක් සහිත ස්ථානයක් තෝරා ගත යුතුය. එමෙන්ම එම ස්ථානය සිසිලස සහිත, වියළි අඳුරු ස්ථානයක් විය යුතු වේ. මෙම කහ බීජ අල මෙලෙසින් ඊළඟ කන්නය පැමිණෙන තෙක් හෝ පසුව අලෙවි කිරීම සඳහා ගබඩා කළ හැකිය.

සාමාන්‍යයෙන් ගබඩා කිරීමට යොදා ගන්නා කහ අල නොසේදීමට වගබලාගන්න. එමෙන්ම කුණුවීමට ලක්වූ, පුස් සහිත, කෘමි හෝ වෙනත් සතුන්ගේ හානියට ලක්වූ මවු අල කොටස් ද මෙම ගබඩා තොගයෙන් ඉවත් කිරීමට වගබලාගන්න.

මෙහිදී අඟල් 03 ක් පමණ දහයියා තට්ටුවක් බිම අතුරා ඒ මත කහ තට්ටුවක් අතුරන්න. අනතුරුව ඒ මත දහයියා අතුරන්න. නැවතත් කහ තට්ටුවක් දමන්න. මෙලෙස මාරුවෙන් මාරුවට කහ අල සහ දහයියා ඇතිරීම වැනි සරල ක්‍රමයක් අනුගමනය කිරීමෙන් මෙම කහ බීජ මාස තුනක පමණ කාලයක් පහසුවෙන්ම ගබඩාකර තබා ගත හැකියි. එහිදී විශේෂයෙන්ම සැලකිය යුතු කාරණාව වන්නේ මෙලෙස කහ බීජ ගබඩාකර ඇති කාලය පුරාවට කිසිදු විටෙක ජලය මුසුවීමට ඉඩ නොදීමයි.

ගෘහස්ත පරිභෝජනය සඳහා කහ සකසා ගන්නේ කෙසේදැයි අපි ලබන සතියේ දී දැනුවත් වෙමු.

 

 

තොරතුරු සැපයීම - අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හා සන්නිවේදන අංශයේ,

දිශාන්ති නිරෝෂා කොඩිතුවක්කු

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.