අඩුම මුදලකින් ඔබේ නිවෙසේ අත්තිවාරම දමන්න

අලුත් ම තාක්ෂණික ක්‍රම
ජනවාරි 20, 2021

ගොඩනැගිලි තාක්ෂණය කියන්නේ දවසින් දවස දියුණුවෙන ශිල්පයක්. තාක්ෂණය දියුණුවත් සමඟ මිනිස්සු තමුන්ගේ නිවහන සාදා ගැනීමට අලුත්ම ක්‍රම සොයා ගන්නවා. සමහර තාක්ෂණික ක්‍රම නිර්මාණය වී තිබෙන්නේ සාම්ප්‍රදායික ක්‍රමයට තවත් අලුත් යමක් එකතුවීමෙන්.

නිවෙසක් සාදන සෑම කෙනෙක්ම මේ ක්‍රම ගැන හරිම උනන්දුයි. ලස්සන පුංචි නිවහනක් සදන්න සිහින දකින ඔබත් අලුත් යමක් දුටුවොත් ඒ ගැන සොයා බලන බව අප දන්නවා.

ඒත් සමහරු මෙවැනි අලුත්ම තාක්ෂණික ක්‍රම තමුන්ගේ නිවහන හදන්න යොදා ගන්න පුංචි චකිතයක් තිබෙනවා. මේ ක්‍රමයට අපේ නිවෙස හැදුවොත් කොයි තරම් ශක්තියක් තිබෙයිද, කොයිතරම් කාලයක් පවතියිද... මෙවැනි ප්‍රශ්න ගැන සිතමින් ලතවෙනවා. නමුත් ලෝකය අපට වඩා වේගයෙන් ඉදිරියට ගමන් කරනවා. නවීන තාක්ෂණික ක්‍රම, ගොඩනැගිලි උපකරණ, පහසු ක්‍රම හා මුදල් අඩුවෙන් වැයවන ක්‍රම ගැන දවසින් දවස සොයා ගන්නවා.

සිහින කැදැල්ලක සිරියාව දකින්න දිවා රෑ නැතිව වෙහෙසෙන ඔබත් නිවෙසක් තනා ගන්නා විට මෙවැනි තාක්ෂණික ක්‍රම ප්‍රයෝජනවත් වේවි. එසේම මේ කාලයේ නිවෙසක් තැනීමට වැයවන පිරිවැය සෑහෙන්න අඩුකර ගැනීමට හැකි වේවි. තවද කර්මිකයන් හා පෙදරේරුවන්ට, වඩු කාර්මිකයන්ට ගෙවීමට ඇති මුදලත් සෑහෙන්න ඉතිරිකර ගැනීමට හැකියාව ලැබේවි.

අත්තිවාරම දැමීම

අප මුලින්ම අලුත්ම තාක්ෂණයට අනුව අඩුම පිරිවැයකින් අත්තිවාරම දැමීමේ ක්‍රම ගැන සොයා බලමු. අපේ සාම්ප්‍රදායිකව නිවාස සැලසුම් සකස් කරන නිර්මාණශිල්පීන් යොදා ගන්නේ කළුගල් අත්තිවාරමක් මත බිත්ති බැඳීමයි. මෙම ක්‍රමය තරමක් වියදම් වැඩි ශ්‍රමය වඩාත් වැයවන කටයුත්තකි.

Colomn Poket method

ගොඩනැගිලි තාක්ෂණයේ අලුත්ම ක්‍රමයක් ලෙසයි Colomn Poket method හඳුන්වන්නේ. මෙය අඟල් 6” තරම් උස අඩි 1’ය1’ පමණ ප්‍රමාණයේ මාළු ටැංකියක් වැනි කොලම් එකකි. එම අඩි ප්‍රමාණය අපට අවශ්‍ය පරිදි වෙනස් කරගත හැකි අතර අඩි 3’ය3’ අඩිය ප්‍රමාණයේ කොළම් ද පවතී. මෙහිදී සිදුවන්නේ වල හාරා එම ටැංකිය එහි අතුරා කොන්ක්‍රීට් දැමීමයි. මෙහිදී අප යොදන කණුව පෙර සකස් කරගත යුතු අතර එසේ සකස් කරගත් කණුව ඒ මත රඳවා කොන්ක්‍රීට් දැමීම කළ යුතු වෙයි. මෙලෙසින් කණුව අප සකස් කළ මාළු ටැංකිය වැනි පෙට්ටිය මත තැන්පත් කළ පසු එම කටයුත්ත සම්පූර්ණ වෙයි.

Plinth Beam  ක්‍රමය

මෙම ක්‍රමයේදී මුලින්ම සිදු වන්නේ නිවෙස සාදන බිම සම්පූර්ණයෙන් සකස් කර රතු පස් දමා මට්ටම් කර ගැනීමයි. ඉන්පසුව එම පොළොව මත අඟල් 9” - 9” ප්‍රමාණයේ කේනාක්‍රීට් තට්ටුවක් සම්පූර්ණ නිවෙස සාදන සීමාවටම දැමිය යුතුය.

මෙලෙස සකස් කරගත් Beam  එක මත නිවෙසේ බිත්ති බැඳීම දෙවැනි පියවරයි. මෙලෙස බිත්ති බැඳීමේදී අත්තිවාරමට පසුව යොදන කුඩා කොන්ක්‍රීට් තට්ටුවක් දැමිම අවශ්‍ය නොවන අතර ඉතාම ක්‍රමානුකූලව බිත්ති බැඳීම කළ හැකි වෙයි.

Raft Foundation  ක්‍රමය

මෙය වියදම අවම කර ගැනීමේ සාර්ථක ක්‍රමයකි. මෙහිදී සිදුවන්නේ නිවෙස සාදන සීමාව වැසෙන ලෙස කොන්ක්‍රීට් තට්ටුවක් දැමීමයි. මෙම කොන්ක්‍රීට් තට්ටුවේ ඝණකම අවශ්‍යතාව අනුව අපට වෙනස් කර ගැනීමට හැකි අතර තනි තට්ටුවේ ගොඩනැගිල්ලක් සඳහා අඟල් 4” - 10” පමණ ප්‍රමාණවත් වේ. එසේම මෙම බිම ටයිල් කිරීමට හෝ ටයිටේනියම් ඇල්ලීමට ද පහසුය.

 

 

 

නිවෙසක බිත්ති බැඳීමේ පහසු ක්‍රම

 

මෙලෙස ඔබ නිවහනේ අත්තිවාරම දැමූ පසු දෙවන පියවර වන්නේ බිත්ති බැඳීමයි. මෙලෙසින් බිත්ති බැඳීම සඳහා ද ඉතාම පහසු අඩු වියදම් ක්‍රම කිහිපයක්ම තිබේ.

නර්ඩ් තාක්ෂණයෙන් තනන ගල් කුඩු හා සිමෙන්ති මිශ්‍ර බිත්ති ක්‍රමය ද දැන් අප රටේ ජනප්‍රිය වෙමින් පවතී. Slip Wall  ක්‍රමයට බිත්ති බැඳීම ලෙස හඳුන්වන මෙම ක්‍රමයේදී සිදු වන්නේ අත්තිවාරම බැඳීමෙන් පසු දෙපස ඇති කණු දෙක අතර තහඩු දෙකක් රඳවා ඒ මත සිමෙන්ති ගල් කුඩු හා කොහුබත් කෙඳි යොදා ගත් මිශ්‍රණයෙන් පුරවා ගැනීමයි. මෙලෙස බිත්ති බැඳීමෙන් වාසි රැසක්ම ලැබේ.

මෙසේ බිත්ති බැඳීමෙන් පසු කපරාරු කිරීම අවශ්‍ය නොවන අතර බිත්තියේ සුද මැදීමේ පසු තීන්ත ආලේප කළ හැකි වෙයි.

එසේම ඒ සඳහා වැයවන වියදම ද ඉතාම අඩුය.

තවත් බිත්ති බැඳීමේ ක්‍රමයක් වන්නේ බිත්තියේ සැකිල්ල සම්පුර්ණයෙන්ම බිම සකස් කර දොර ජනෙල් සවි කිරිමට පහසුවන ලෙස සකස් කර බිත්තිය ඉහළට එක්වරම එසවීමයි. System home work ක්‍රමය ලෙස හඳුන්වන මෙම ක්‍රමය නවීන තාක්ෂණයේ නිවාස ක්‍රමයක් ලෙස පෙරදිග රටවල වඩාත් ජනප්‍රිය වී තිබේ. එසේම මෙය අප රටේ ද පෙදරේරුවන් දැන් නිවාස සෑදීමට යොදා ගන්නට උනන්දුවක් දක්වති.

ඉදිරියේදී මෙලෙසින් නිවෙසක කපරාරු කිරීම හා පොටි ඇදීමේ සරල ක්‍රම ගැන අපි ඔබ සමඟ සාකච්ඡා කරමු.

 

 

ගොඩනැගිලි තාක්ෂණ ඉංජිනේරු

අජන්ත කාරියවසම්