කඳු ගැටයක් පාමුල තැනූ සුන්දර නිවහනක සිරියාව

මාර්තු 31, 2021

 

තමුන්ටම කියා ඉඩම් කැබැල්ලක් තිබීම විශාල සම්පතකි. එය කොතැනක තිබුණත් එහි නියම ප්‍රයෝජනයක් ගැනීමට හැකියාව ඇත්තේ සාර්ථක නිර්මාණ සැලසුමකිනි.

උස් කඳු ගැටයක, පහත්බිමක හෝ තැනිතලාවක නැතිනම් මුහුදු සීමාවට සමීපව ඔබගේ ඉඩම තිබුණත් එයින් ප්‍රයෝජනයක් ගෙන සුන්දර නිවහනක් තනා ගැනීමට නිසි සැලසුම් තිබිය යුතුමය. එම සැලසුම නිර්මාණය කළ යුත්තේ ගෘහ නිර්මාණ තාක්ෂණයත්, වාස්තු විද්‍යා දැනුම හා අවබෝධය යන සියල්ලම ඇති ශිල්පියකුගේ උපදෙස් අනුවය. බොහෝ විට අපට තරමක් අඩු මුදලකට ඉඩමක් මිලදී ගැනීමට හැකි වන්නේ කඳු බෑවුමකය. එවැනි බිමක සාදන නිවෙසක් සුන්දර ලෙසින් ශක්තිමත්ව තනා ගැනීමට හැකි වන්නේ එහි පිහිටීම අනුව එය නිර්මාණය කර ගැනීමෙනි.

අප ඔබට තිළිණ කරන මෙම සැලසුම නිර්මාණය වී තිබෙන්නේ් එවැනි කඳු බෑවුමකය. එයට ගැළපෙන ලෙසින් මෙම නිවහන ඉදි වී ඇත්තේ ඉතාම සුන්දර ලෙසිනි. දෙමහල් නිවෙසක් වූ මෙහි භූමි පිහිටීම අනුව නිර්මාණය වී ඇත්තේ සියලු අංග ඇතුළත්ව අංග සම්පූර්ණ නිවෙසක් ලෙසිනි.

 

බිම් මහල

මෙහි විශේෂයෙන්ම රථගාල නිර්මාණය වී ඇත්තේ කඳු බෑවුමේ පිහිටීම ප්‍රයෝජනයට ගනිමිනි. එය නිවෙසේ් ඉහළ මහලේ ටෙරසයට සමපාතික ලෙසින් පිහිටයි. මෙම සීමාව තුළ

කාමර දෙකක් වෙයි. එසේම දර උඳුනක් යොදා ගත හැකි අයුරින් මුළුතැන්ගෙයක් ද එක් පැත්තකින් වෙයි. අර්ධ නාගරික ප්‍රදේශවල තවමත් මෙවැනි මුළුතැන්ගෙවල් දකින්නට ලැබෙන අතර ඔබට අවශ්‍ය ලෙස එය වෙනස් කරගත හැකි ලෙසින් මෙය සැලසුම් කර තිබේ. නාන කාමරය ඇත්තේ නිවෙසේ එක් අන්තයකය. මෙහි මැද සීමාව කෑම කාමරයක් ලෙසින් වෙන්ව පිහිටන අතර එයට ආසන්නව Court Yard එකක් තිබේ. ඒ අසලම ඇත්තේ විශාල සාලයකි.

 

පළමු මහල

මෙහි පළමු මහල නිර්මාණය වී ඇත්තේ කාමර දෙකකිනි. එහි පැත්තකින් නාන කාමරයක් ද පිහිටයි. මැද සීමාව තුළ ඇත්තේ Court Yard එකකි. එය බිම් මහලේ Court Yard එකට සමපාතිකව පිහිටා තිබේ. මෙම සීමාවේ ඉදිරියෙන් ඇත්තේ දසත හොඳින් දර්ශනය වෙන දිගු බැල්කනියකි. Court Yard එක අසලින් ටීවී ලොබියක් සැලැස්මේ ඇත. නිවෙසේ පසුපස සීමාවේ ද බැල්කනියක් ඇති අතර දකුණු පස කාමරය අසලින් රථගාලට ඉහළින් වූ ටෙරසයකි.

මෙලෙසින් තැනූ මෙම නිවහන පර්චස් 10 පමණ භූමියක ඉදිවී ඇති අතර කඳු බෑවුම හොඳින්ම ප්‍රයෝජනයට ගෙන තිබේ. එසේම නිවෙස වටා තාප්පයක් බැඳීමෙන් ඉඩමේ සීමාව මායිම් කර තිබේ.

 

උපදෙස්

කැදැල්ල හෝම්ස්හි අධ්‍යක්ෂ දේශමාන්‍ය ආචාර්ය

මහින්ද ඒකනායක