ඉඩම කුඩා නම් වාස්තු උපරිමව බැලිය යුතුයි

මැයි 29, 2019

විශාල ඉඩමක නිවෙසක් ඉදිකිරීමේ දී නම් එයට සුදුසු ප්‍රදේශය වෙන් කරගෙන, තමාගේ අවශ්‍යතා පරිදි ගැළපෙන සැලැස්මකට නිවෙසේ වැඩ කටයුතු කරගෙන යාමේ නිදහස හා ඉඩකඩ පවතියි.

නිවෙසේ වර්ගඵලය සැකසීමේ දී ත් දිශාවන් අනුව නිසි පරිදි අංග ස්ථානගත කිරීමේ දී ත් වාස්තු සීමාවන් යටතේ ඉඩමේ පාද වෙන්කර ගැනීමේ දී ත් නිවෙසින් පිටත පිහිටන ළිඳ හා වැසිකිළි වළ ආදිය නිසි පරිදි ස්ථානගත කිරීමේ දී ත් යන කාරණාවන් සඳහා මිදුලේ පවතින ඉඩකඩ ඉතාම වැදගත්. සරලවම කියනවා නම් මනා ඉඩකඩ ඇති මිදුලක වාස්තු කරුණු නිවැරැදිව හා නිසිපරිදි ගළපා දෝෂ ඉතා අවම මට්ටමක පවතින නිවෙසක් සැලසුම් කිරීමට ඇති හැකියාව ඉහළයි.

නමුත්, විශාල ඉඩම් හැම දෙනාටම නැහැ. තමාට උරුමයෙන් ලැබුණ හෝ අතේ ඇති මුදල මත මිලදී ගත් කුඩා ඉඩමේ තමයි හැමදේම කරගන්න වෙන්නේ. ඉඩමේ ප්‍රමාණය අඩුවූ විට එහි ඉදිවන නිවෙසේ ඇතිවිය හැකි දෝෂයන් අවම කර ගැනීමට අප විසින් සැලකිය යුතු වාස්තු විද්‍යා පරාසය ඉතා ඉහළ මට්ටමක පැවතිය යුතුයි. ඒ නිසාමයි කුඩා ඉඩමක වාස්තු උපරිමව බැලිය යුතු වන්නේ.

අද ලිපියට උදාහරණ වූ නිවෙසත් පිහිටියේ පර්චස් දහයක පමණ ඉඩමක. හැඩය වගේම දිග, පළල ප්‍රමාණයන් අනුපාතිකව ගැළපෙන ආකාරයෙන් තිබීම කුඩා ඉඩමක දී විශේෂයෙන් වැදගත්. වාස්තු අංශයෙන් දෝෂයන් අවම කර ගැනීමේ දී ත් තාක්ෂණික හා ගෘහ අලංකරණ ක්‍රමයන්ගෙන් උපරිමව අලංකාරයක් ලබා ගැනීමේ දී ත් නිසි පරිදි නිවෙස තුළ මනා ඉඩකඩක් ලබා ගැනීමටත්, ප්‍රයෝජනවත් ලෙස මිදුලේ ඉඩකඩ ඉතිරි කර ගැනීමටත් ඉහත කී අනුපාතික බව සහ ඍජුකෝණාකාර හැඩය මනා පිටිවහලක් සපයයි.

උදාහරණයට ගත් මෙම ඉඩමත් මුලදී ගැළපෙන, සුදුසු ආකාරයට තිබු එකක්. වාස්තු කරුණු නො සලකා ඉදිකිරීම් සිදුකළ නිසා නිවෙස තුළ යම් වෙනස්කම් කළ යුතුවයි තිබුණේ. සිදුවූ එම දෝෂවලින් බොහෝ දෙනා නොදැනුවත්කම හා නොසැලකීම මත ඇති කරගන්නා දෝෂ තත්ත්වයන් කීපයක් ගැනයි අද පැහැදිලි කරන්නේ.

මුලදීම වැසිකිළි වළ සහ ළිඳ ගැනත් සිතන්න

බොහෝ විට “ගේ” ගැන කතා කරනවා මිස එයට බාහිරයෙන් අයත් වන ළිඳත්, වැසිකිළි වළත් ගැන මුලදී අවධානය යොමු කරන්නේ නැහැ. නිවෙසේ වැඩ කටයුතු කරගෙන යන අතරතුරේ දී තමයි මේවා ගැන සිහිවෙන්නේ. ඉඩමේ ප්‍රමාණය අඩුයි නම් මේ සෑම දෙයක්ම ස්ථානගත කිරීම කෙසේ විය යුතු දැයි මුලදී තීරණය කළ යුතුයි. ඒ වාගේම ඉඩකඩ අඩු නිසා කපන වැසිකිළි වළ දීර්ඝ කාලයක් පරිහරණය කිරීමට තරම් ප්‍රමාණවත් පරිදි සුදුසු ගැඹුරකින් කැපිය යුතුයි. තැන තැන වැසිකිළි වළ කැපීම නුසුදුසු වාගේම එසේ කිරීමට තරම් ඉඩකඩක් මිදුලේ නොමැති වීම මෙයට හේතුවයි. නිවෙස් හිමියෝ ඉඩමේ එක් ස්ථානයක වැසිකිළි වළක් කැපුව ද එය ප්‍රමාණවත් නොවීම නිසා දෙවනුව තවත් වළක් කැපුවේ නිවෙසේ කොටස් අතර සහ මායිමට සම්බන්ධ වන ආකාරයටයි. ඔවුන් නොදැනුවත්වම එමඟින් දෝෂයක් ඇතිවී ඇත. කබලෙන් ළිපට වැටුණා වාගේ දැඩි ආර්ථික දුෂ්කරතාවලට ලක් වීමත්, රෝගාබාධ ඇතිවීම කෙරෙහිත් මෙය හේතුවක්. මෙම දෝෂය මඟ හැරීමට නම් දැනට කපා ඇති වැසිකිළි වළ සියල්ලම නිසිපරිදි පස් දමා වැසිය යුතු අතර, නැවත වළ කැපීමේ සුදුසුම ස්ථානය නිසි පරිදි තීරණය කළ යුතු වන්නේ ඉඩමේ ඇති කුඩා බවත් සිහියට ගනිමිනුයි.

ප්‍රධාන දොරට දෝෂ වන බලපෑම්

මෙම නිවෙස මුලදී තනි මහලකට ඉදිකළ එකක්. නිවෙසේ පවතින ඉඩකඩ ප්‍රමාණවත් නැති නිසා කාමර කීපයක් එකතු කිරීමේ අදහසින් නිවෙසේ ඉදිරිපස කොටසට රුපයේ පරිදි ස්ලැබ් එකක් දමා තට්ටු දෙකක් වන පරිදි පිළියෙල කර තිබුණි. ප්‍රධාන දොර තිබු ස්ථානයට ඉහළින් දැඩි පීඩනයක් යෙදෙන ආකාරයට නිවෙසකට කොටස් එකතු කිරීම වාස්තු විද්‍යාවට පටහැනි දෙයක්. ඉහළින් පීඩිත තැනක් යටින් ප්‍රධාන දොර තැබීම මඟින් එයට ලැබිය යුතු නිසි තැන නොලැබී යනවා. නිවෙසේ කැඩීම් අවම කර ප්‍රධාන දොර නිසි පරිදි නැවත චාරිත්‍රානුකුලව ස්ථානගත කිරීමෙන් මුල දී යෙදුණු අවහිර බාධා පහවී ගොස් නිදහස් බවත්, නිවැසියන්ට දියුණුවත් උදාවෙයි.

 

සිවිල් ඉංජිනේරු,

වාස්තු විද්‍යා විශාරද, ආචාර්ය

ගයාන් එරමුදුගොඩ

Web :www.vastuhomebuilders.com
Email
:[email protected].

2019/05/29 තරුණි බලන්න