2020 ඔබට කොහොම ද?

ජනවාරි 1, 2020

2020 ජනවාරි 01 උදේ 6.22 ම සූර්ය උදාව අනුව නව වසර එළැඹෙන්නේ ධනු ලග්නයෙන් පුවපුටුප නැකැතින් ගුරු මහ දශාවෙනි. පුර සැටවන නන්දා තිථිය තෛනිල කරණය ද ඇතිව ගුරු හංස යෝගයකින් මහීපාල යෝගයක් හා බුධ ආධිත්‍ය යෝගය ද ඇතුව මෙම වසර උදාවී ඇත. මෙම වසරේ සුර්ය ග්‍රහණ 2 ක් හා චන්ද්‍ර ග්‍රහණ 3 ක් ඇති වේ. 2020 අප්‍රේල් 01 සිට 24 දක්වා කාල සර්ප යෝගයක් ද රටට බලපවත්වයි. මාර්තු, ජුනි මාසවල අතරතුර ආගමික නායකයන්ට විපත් කරදර ද දේශපාලන නායකයන්ට කරදර ද මතු කරයි. කෙසේ වුවත් ජුනි 30 සිට නොවැම්බර් 20 දක්වාම රටේ ආර්ථික තත්ත්වය යහපත් වේ. ආගමික මතභේද හේතුවෙන් වාද, විවාද බේදවීම් ඇති කරයි. වෙනත් වර්ෂවලට වඩා මනුෂ්‍යයාගේ උද්‍යෝගයක් ඇති කරයි. රටේ උන්නතිය උදෙසා තරුණ තරුණියන්ගේ පිබිදීමක් මතු කරයි.

ගොවිතැන් වැඩවල විශේෂ දියුණුවක් සැලසේ. වාරි කර්මාන්තය, මහාමාර්ග ඉදිකිරීම් බහුල කරයි.

රටේ උසස් නිලතලවලට කාන්තාවෝ පත්වෙති.

කාලගුණික වශයෙන් තද, උෂ්ණ ගතියක් වියළි කාල ගුණයක් මාර්තු සිට මැයි දක්වා ඇතිවිය හැකියි.

 

මේෂ

ඉඩකඩම් ලාභ ලැබේ

රවි, ගුරු, බුධ, ශනි, කේතු නව වැන්නේත් සිකුරු දසවැන්නේත් පිහිටමින් උදාවන මෙම වසර ඔබට ඉතා සුබදායකයි. දියුණුව ඇති වේ. මුදල් ලැබීම් වැඩි කරයි.

අධ්‍යාපනය ලබන උදවියට වඩාත් සාර්ථක කාලයකි.

නිවාස හා ඉඩකඩම්වල ලාභ පවතී. ව්‍යාපාරවලින් ජය අත්වේ. මංගල කාරණා ඉෂ්ට සිද්ධ වේ. මනා ශරීර සෞඛ්‍යයක් ඇති වේ. සුබ ප්‍රතිඵල වැඩි කරන කාලයකි.

 

සුබ දවස් - ඉරිදා, අඟහරුවාදා, සෙනසුරාදා

ජය වර්ණය - රතු, නිල්

අය - වැය - 2-14

වෘෂභ

ආදායම් ඉහළ යයි

ජනවාරි 24 වැනි දින සිදුවන සෙනසුරු මාරුව ඉතා ශුභදායක වේ. කුජ හත්වැන්නේත් රවි, බුධ, ගුරු, ශනි, කේතු අටවැන්නේත් පිහිටීමෙන් වසර ආරම්භ වේ. පසුගිය කාලවලට වඩා ඉතා සුබදායකයි.පැවැති කරදර බාධක බොහොමයක් ඉවත්කර ගත හැකි වසරකි. දියුණුව ගෙන දෙයි. ආදායම් ඉහළ යයි. සතුරු පීඩා දුරු වේ. තරග විභාග ජය හිමි වේ. සෞඛ්‍යය යහපත් වනු ඇත. ගෘහ ජීවිතය ඉතා අලංකාර ලෙස ගත කළ හැකි වනු ඇත. අලුත් රැකියා හිමි වීම් හෝ උසස් වීම් හිමි වේ.

සුබ දවස් - බදාදා, සිකුරාදා, ඉරිදා

ජය වර්ණය - සුදු, ක්‍රීම්

අය - වැය - 11-5

මිථුන

ප්‍රවේසම් විය යුතුය

රවි, බුධ, ගුරු, කේතු, ශනි හත්වැන්නේත් සිකුරු අටවැන්නේත් පිහිටමින් 2020 වසර ආරම්භ වේ. ඔබ පරෙස්සමෙන් වැඩ කටයුතු කළයුතු වසරකි. ජනවාරි 23 දා සිට අෂ්ඨම ඒරාෂ්ඨක අපල ගෙන දේ. එබැවින් අනතුරුවලින් පරෙස්සම් විය යුතුයි. රෝග පීඩාවලට ගොදුරු විය හැකියි. අලුත් ආයෝජනවලට යොමුවීමට බලාපොරොත්තු වනවා නම් ඉතා කල්පනාකාරී වන්න. එසේම ගෘහ ජීවිතය තුළත් ඉතා කල්පනාවෙන් කටයුතු කිරීම අවශ්‍යය. ඉතා ඉවසිලිවන්තවත් ප්‍රවේසම් සහගතවත් සෑම කටයුත්තක්ම කළ යුතු වේ.

සුබ දවස් - බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

ජය වර්ණය - කොළ, කහ

අය - වැය - 2-5

කටක

මංගල කාරණා ඉටු වේ

රවි, බුධ, ගුර, ශනි, කේතු හය වැන්නේ ද සිකුරු 7 වැන්නේ ද ගමන් කරමින් නව වසර ඇරැඹෙයි. ඔබට ඉතා ශුභදායකයි. වසර මුල සිට මංගල කාරණා ඉටුවන බවක් පෙන්නුම් කරයි. එසේම බොහෝ සැප සම්පත් උරුම කරගන්නට හැකියාව ලැබෙන කාලයක් වනු ඇත. තමා බලාපොරොත්තු වන ආකාරයටම තමාගේ වැඩකටයුතු බොහොමයක් ඉටුකරගත හැකි වනු ඇත. අලුත් ඇඳුම් පැලඳුම්, නිවාස ලාභ හිමිවන බවක් පෙන්නුම් කරයි. එසේම තම නම ජනපි‍්‍රය බව වැඩිවනු ඇත. උසස් අධ්‍යාපන කටයුතුවලට මඟ පෑදේ. විදෙස් ගමන් සාර්ථක වේ.

සුබ දවස් - ඉරිදා, සඳුදා, අඟහරුවාදා

ජය වර්ණය - සුදු, ක්‍රීම් පැහැය

අය - වැය - 11-14

උපදෙස්ප්‍රවීණ ඡ්‍යෝතිර්වේදිනී

චින්තා වික්‍රමසිංහ

2020/01/01 තරුණි බලන්න