කෝණ මාසවල නිවෙස් තනන්නට විවාහ වන්නට නැකැත් නැහැ

ජූනි 14 වැනි දා ඇරැඹෙන කෝණ මාසය අවසන් වන්නේ ජූලි 16 දා..
ජූලි 1, 2020

සුගිය මාර්තු මාසයේ මැද භාගයේ සිට රට වාසී ලෝක වාසී අප සැම සියලු දෙනාටම කොරෝනා වසංගතය හේතුවෙන් සියලු කටයුතුවලින් නිදහස්ව නිවෙස් තුළට වී කාලය ගත කිරිමට සිදුවිය. එම නිසාවෙන් එම කාල සීමාව තුළ අප විසින් පෙර යොදාගත් බොහෝ කටයුතු අත්හැර දැමීමට සිදුවිය.

ඒ අතර 2020 වසරේ යොදා ගත් නව නිවාස ඉදිකිරීම් කටයුතු මෙන්ම විවාහ මංගල කටයුතු ද කල් දමන්නට විය.

විශේෂයෙන් පසුගිය අප්‍රේල් 13 සිට ජූනි 14 දක්වා කාලය තුළ සිදුකිරීමට නොහැකි වූ නව නිවාස ඉදිකිරිම් කටයුතු මෙන්ම විවාහ මංගල කටයුතු මෙම ජුනි 14 සිට ජුලි 16 දක්වා උදාවන කෝණ මාසය හේතුවෙන් ඉටුකර ගත නොහැකි වේ.

ඔබට එම කටයුතු සිදුකර ගත හැක්කේ එළැඹෙන ජුලි 16 න් පසුත් 2020 සැප්තැම්බර් 17 දක්වාත් නැවත ඔක්තෝම්බර් 16 සිට 2020 දෙසැම්බර් 16 දක්වා කාල සීමාවේදීය.

විශේෂයෙන් එළැඹෙන ජූලි, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝම්බර්, නොවැම්බර් හා දෙසැම්බර් යන මාසවල ඉහත කෝණ දින හැර සුබ කටයුතු සඳහා යොදා ගත හැකිය.

මෙම වසරේ දෙවැනි කෝණ මාසයත් උදා කරමින් මෙම ජූනි මස 14 වන ඉරිදා දින රාත්‍රී 11.54 ට ග්‍රහ ලොව රජු හෙවත් නව ග්‍රහයන් අතරින් අපට ශක්තිය දෙන, එසේම ආලෝකය මෙන්ම ජීවය ලබා දෙන ප්‍රධාන ආලෝක ග්‍රහ තාරකාව වන රවි ග්‍රහයා (සූර්යයා) තම සම රාශියක් වන බුධ හිමි මිථුන රාශියට පිවිසෙයි.

ඒ අනුව කුජට අයත් මුවසිරස නැකතේ 3 වැනි පාදයට පිවිසෙන රවි ග්‍රහයා, එම මිථුන රාශියේ එළැඹෙන 2020 ජූලි 16 වැනිදා උදේ 10.47 ට කටක රාශි ගත වන තුරු මසකට ආසන්න කාලයක් මිථුන රාශියේ ගත කරනු ඇත.

මිථුනයට අධිපති බුධ ග්‍රහයා දැනට ගෝචර වශයෙන් එම රාශියේ ම ගමන් කරන අතර, රාහු ද මිථුනයේ ගමන් කරයි.

ග්‍රහ ලොව රාශි වළල්ලේ පියා හෙවත්, ග්‍රහ ලොව පාලක ග්‍රහ තාරකාව වන රාජ්‍යකාරක රවි ග්‍රහ මාරුව ජ්‍යෙතිෂානුකුලව ඉතාම ප්‍රබල ග්‍රහ මාරුවකි.

එසේම රවි ග්‍රහයා මිථුන රාශි ගත විම කෝණ මාසයක ආරම්භයයි.

එසේම නිවාස හා මංගල නැකැත් නොමැති කාලයයි.

නැවත නැකැත් උදාවනුයේ ජූලි මස 16 වන දායින් පසුවයි.

වසරකට කෝණ මාස 04 කි.

 

ඡ්‍යොතිෂවේදී වාස්තු විද්‍යා උපදේශක

සම්පත් එස්. කල්පගේ

 

2020/07/01 තරුණි පුවත්පත බලන්න.