2021 නව වසරේ සිදුවන බුධ සහ සිකුරුගේ හැසිරීම ඔබට බලපාන්නේ කොහොමද?

බුධ සහ සිකුරුගේ හැසිරීම ඔබට බලපාන්නේ කොහොමද?
ජනවාරි 6, 2021

ජ්‍යොතිෂ්‍ය අද අප රටේ ජනතාව අතර පෙර ගමන්කරුවකු වී තිබේ. ඒ තරමටම නැකැත් ශාස්ත්‍රය, වාස්තු විද්‍යාව නිසා එය මිනිසුන් ග්‍රහණය කරගෙන ඇති බව පෙනෙන්නට ඇත. විශේෂයෙන් කාන්තාව හෙවත් ගෘහණිය මේ සඳහා වැඩි නැඹුරුවක් ඇතිවී ඇත.

රැකියා විරහිත කාන්තාව නිවෙසට වී තම කටයුතු කරමින් සිටින විට විවිධ එෆ් එම් නාලිකා ඔස්සේ විකාශනය කරන ජ්‍යොතිෂ්‍ය වැඩසටහන් නිසාද කාන්තාව මේ සඳහා වැඩි නැඹුරුවක් දක්වන්නට හේතුවී ඇතැයි සිතීමට පුළුවන. ඒ කෙසේ වෙතත් මෙම ප්‍රවණතාව නිසා බොහෝ දෙනෙකුට ජීවිත ගමනේ සාර්ථකත්වයට හේතුකොටගෙන තිබීම සතුටට කරුණකි.

දින, සති, මාස ඉතා ඉක්මනින් ගෙවී යයි. අනතුරුව වසරක් ගෙවී නව වසරක් ලබයි. ගෙවුණු වසරට වඩා බලාපොරොත්තු සගතව එළඹෙන වසර පිළිබඳ සිතා බලයි. ජීවිතය හරියට පොතක් බඳුය. ඡේදයෙන් ඡේදය කියවා එය අවසන් කරනවා මෙන් වසරක් ගෙවි ලැබීම හරියට අලුත් පොතක නව පරිච්ඡේදයක් කියවීම ආරම්භ කිරීමක් වැන්න. එය සිංහාවලෝකනයක් යැයි වරෙක සිතේ. සිංහාවලෝකන යනු ප්‍රතාවත් සිංහයා නිදා සිටි තැනින් නැගිට ඉදිරියට ගමන් කිරීමට පෙර පසුපස දෙස හැරී බැලීමයි. නව වසර උදාව පිළිබඳ යොමුවීමට පෙර අපද යළි පසුපසට නෙත් යොමා බැලිය යුතු කාලය එළඹ තිබේ.

කාන්තාව ගැන කතා කරන විට බුද්ධිය සහ ලෞකිකත්වය ගැන කතා කළ යුතුව ඇත. බුද්ධිය හා අලංකාරය විනෝදාස්වාදය කතුන් තුළ තිබිය යුතුම ගුණාංගයක්. ඒ නිසාම අප අද නව වසර උදාවත් සමඟ බුධ, සිකුරු ගැන හා ඉන් ලැබෙන ප්‍රතිඵල පිළිබඳ විග්‍රහ කොට බලමු.

නව වසර උදාවත් සමඟ විශ්වයේ ධනු රාශිය උදාව පැවතුණි. එවිට බුධ ලග්නයේ හෙවත් 01 වැන්නේ විය. සිකුරු 12 වැන්නේ එනම් වෘශ්චික රාශියේ විය. නොබෝ දිනකින් බුධ සිකුරු රාශි මාරුකොට වසර පුරාවට විවිධ රාශි හරහා ගමන් කරයි. කාන්තාවක ලෙස දිවිමඟ ජය ගන්නට රැකියාවක් ව්‍යාපාරයක් ආරම්භයට කලා කටයුත්තකට නිර්මාණයක් එළිදැක්වීමට ආදී වශයෙන් සුදුසුද නුසුදුසුද යන්න මේ ලබන පලාපල අනුව සලකා බලමු.

 

මේෂ ලග්නය

ආයෝජනය අතින් උසස් ආදායම්

ධන සම්පත උදාකර ගැනීමේදී කිසියම් පරිශ්‍රමයක් දැරීමට සිදුවුවත් ආයෝජනය අතින් උසස් ආදායම් ඉපයීමට හැකි වර්ෂයකි.

රැකියා ස්ථානගත සතුරු බාධක එළඹුණද චන්ද්‍රයාගේ දෘෂ්ඨියට හසුවීම නිසාත් රවි බුධ 09 ප්‍රත්‍ය ස්ථානයේ හැසිරීම බාධක මැඬගෙන ඉදිරියට යාමට හැකිවෙයි.

ගෘහ ජීවිතය කාර්බහුල වන අතර එදිනෙදා වැඩ කටයුතු වල කඩිනම් බවක් නිසා විඩාබර ගතියෙන් කල්ගෙවීමට සිදුවනු ඇත.

අධ්‍යාපන කටයුතුවල සාර්ථකත්වයක් ඇතිවේ. විභාග සම්මුඛ පරීක්ෂණවලින් උසස් ප්‍රතිඵල ඇතිවේ.

සෞඛ්‍ය අතින් සැලකිලිමත් විය යුතුය. හිසට, උගුරට බලපාන උෂ්ණ අධික බවක් නිසා අපහසුතා දැනෙනු ඇත. දණහිස ආශ්‍රිත හා තුනටිය යන ස්ථාන පීඩාකාරි වියහැකිය.

 

වෘෂභ ලග්නය

විදේශ රැකියාවකට යාමට වාසනාව

ධනය අතින් යහපත් වන දේපළ උරුමයකට හේතුවන අතර විවාහ සහකරු හෝ සහකාරිය වෙතින් හිමිවන ආර්ථික ප්‍රතිලාභ ද සහිතයි.

විදේශ රැකියාවකට යාමට වාසනාව ඇති අතර වෙළෙඳ ව්‍යාපාර සඳහා සුදුසු වර්ෂයකි. තමා ඈත්වී සිටි ව්‍යාපාරයක් යළි තමාට ලැබීමට වාසනාව පවතී.

ගෘහ ජීවිතය විටින් විට තම මානසික ඒකාග්‍රතාව ගිළිහීම නිසා අන්අය සමඟ මතබේද ඇතිවීමට ඉඩ ලැබෙන නිසා ඉවසීම, සමානාත්මතාව සුරැකෙන සේ කටයුතු කිරීම සුබවාදී වේ. අන් අය නිසා කාර්බහුල ජීවිතයක් ගතකිරීමට සිදුවන අතර ඒ නිසාම සිතේ අවිවේකය, කනස්සල්ල වැඩිපුර දැනෙන වසරකි.

සෞඛ්‍ය අතින් අධික රුධිර පීඩනය, මුත්‍රා දෝෂ හා පාදයේ වළලුකර ආශ්‍රිත රෝග හදිසි අනතුරු එළඹීමට පුළුවන් නිසා කල්පනාකාරී වන්න.

 

මිථුන ලග්නය

ලොතරැයි ජයග්‍රහණ හා ඉතිරිකිරීම් අතින් සුබ

ධනය අතින් යහපත් වනු ඇත. හදිසි ලැබීම් වලට හේතුවෙයි. ලොතරැයි ජයග්‍රහණ හා ඉතිරිකිරීම් අතින් සුබවෙයි. රැකියාස්ථානගත සතුරු බාධක හා ප්‍රධානීන් සමඟ මතබේද ඇතිවී සිත කලකිරෙන රැකියාව එපාවන තත්ත්වයක් ඇතිවීමට පුළුවන.

ගෘහ ජීවිතය අතින් යහපත් වන අතර අන් අය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට හැකිවේ. තම සහකරු හෝ සහකාරියගේ කැපවීම නිසා තම ජීවිතය සොඳුරුබර එකක් කර ගැනීමට හැකිවේ.

සෞඛ්‍ය අතින් ප්‍රවේශම් විය යුතු වේ. යටිබඩ ආශ්‍රිත අගුණ විසබීජ ශරීරගතවීම හා වකුගඩු රෝග, අක්මා රෝග වලින් පෙළෙන අයට එම රෝග ලක්ෂණ පරීක්ෂාවලට නැඹුරුවීමට ඇති ඉඩකඩ වැඩි නිසාය.

 

කටක ලග්නය

නිර්මාණශීලී ජයග්‍රහණ

ධනය අතින් ඔබ තුළ පවතින නිර්මාණශීලී දක්ෂතා තුළින් උපදන ධනය ඉහළ යයි.

විසිතුරු නිර්මාණ හා ලේඛන කටයුතු කෙරේ යොමුවීමෙන් උසස් ආදායම් ඉපදවීමට හැකිවේ.

රැකී රක්ෂා අතින් දුෂ්කර කාර්යන්ට මුහුණදීමට සිදුවෙතත් අධිෂ්ඨානශීලී වුවමනාව මල්ඵල ගැනෙන වසරකි.

ගෘහ ජීවිතයේ ගැටුම් නැතත් අන් අය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම නිසා සිතේ සතුට උපදින අතර වියපැහැදම් තත්ත්වය නම් ඉහළ යාමට බොහෝ විට ඉඩ ඇත. අවිවාහක අයට මංගල යෝජනා උදාවේ.

සෞඛ්‍ය අතින් බියවිය යුතු නැතත් හිසේ පපුවේ සෙම හා දණහිස ආශ්‍රිත කිසියම් කැළලක් විය හැකි නිසා ප්‍රවේශම් වන්න. වතුර පානය අඩුවුවහොත් මුත්‍රාදෝෂ ඇතිවේ.

 

සිංහ ලග්නය

රැකියාවේ ස්ථාන මාරු

ධනය අතින් උසස් වන වසරකි. විවිධ ආයෝජන ක්‍රමෝපායන් කිහිපයකින් උසස් ප්‍රතිඵල උදාකරගත හැක. පිටරටකට සම්බන්ධ ආයෝජනයකින් ධනය උපදවා ගත හැකිය. තරඟවලින් ජය හා ධනය හිමිවේ.

රැකියාස්ථානගත බාධක පැමිණේ. එහෙත් අධිෂ්ඨානය ඉහළ යයි. නිතර ඇවිදීම් සහගත තත්ත්වයන් හා රැකියාවේ ස්ථාන මාරු මෙන්ම දුරබැහැර දුෂ්කර සේවයට යාමට පවා ඉඩ ඇත.

ගෘහ ජීවිතය කාර්යබහුල එකකි. තම ප්‍රියයන්ගෙන් දුරස්ව හිඳීමට සිදුවේ. නව වාහන මිලදීගැනීමකට හෝ ඉඩමක් නිවෙසක් මිලදී ගැනීමට මඟ සැලසේ. තම සහකාරිය හෝ සහකරුවා වෙනුවෙන් වඩා වැඩි කැපවීමක් කරන්නට සිදුවේ.

පපුවේ පවතින නහරගත ආපදා දණහිස ආශ්‍රිත රෝග මෙන්ම යටිබඩ, මුත්‍රාශය ආශ්‍රිත දැඩි උෂ්ණ නිසා හටගන්නා රෝග සඳහා වෙන්වන වසරකි.

 

කන්‍යා ලග්නය

ප්‍රධානීන්ගෙන් ප්‍රසාදය සහ උසස්වීම්

ධනය අතින් විවිධ මාර්ග ඔස්සේ මිලමුදල් ලැබීමටද දේපළ ඉඩකඩම් ලැබීමටද හේතු වේ. ඒවායේ ඉහළ වටිනාකම් ද නිසා යහපත් වසරකි.

රැකීරක්ෂාදිය අතින් උසස්වීම්, නව රැකියා ලැබීම් මෙන්ම ප්‍රධානීන් වෙතින් ප්‍රසාදය මෙන්ම දීමනා උසස්වීම් සහිත වෙයි. සතුරු බාධක ඉවත්වනු ඇත.ගෘහ ජිවිතය සතුටුදායක වන අතර පවුලට අලුත් සාමාජිකයකු එකතුවන වසරකි. සිතේ සැනසීම ඇතිකරන අතර අඹුදරුවන් කෙරේ වැඩි කැපවීමකින් කටයුතු කෙරෙනු ඇත. නව දේපළ හා ධනය සුරක්ෂිත කරගැනීමට වෙනදාට වඩා කැපවීමෙන් කටයුතු කිරීමට පෙළඹේ.

සෞඛ්‍ය අතින් තුනටියට අසුබ තත්ත්වයක් උදාකෙරෙන අතර ආහාර විෂවීම් සැර උෂ්ණ ආහාරපාන නිසා කුස ආශ්‍රිත ආසාදන පවා එළඹීමට පුළුවන. උරහිසට ද අනතුරු විය හැක.

 

තුලා ලග්නය

නව රැකියා ලාභ

ධනය අතින් බාධක රැසකට මුහුණ දීමට සිදුවන අතර දේපළ හිමිකම් නිසා ධනය සමබර වන ස්වරූපයක් ද දක්නට පුළුවන. ඒ රවි, බුධ 03 වැන්නේ සඳු 10 වැන්නේ වූ නිසාය.රැකී රක්ෂා අතින් යහපත්ය. රැකියා ස්ථානය වන දස වැන්නේ සඳු පිහිටීම නිසා රැකියා උසස්වීම්, නව රැකියා ලැබීම් හා පැවැති බාධක අවසන් වී සිතේ සතුටින් රැකියාව කරගෙන යාමට මඟ පෑදේ.ගෘහ ජීවිතය තුළ යම් යම් සිත්තැවුල් උදාකෙරේ. විවාහ ස්ථානගත මතභේද හා සහකරු හෝ සහකාරිය පිළිබඳ අසතුටුදායක ආරංචි අසන්නට ලැබේ. අවිවාහක අයට තවදුරටත් විවාහ ප්‍රමාදයන් දක්නට ලැබෙනු ඇත.

සෞඛ්‍ය අතින් ප්‍රවේශම් වියයුතුය. මුත්‍රා ගල් අවදානම එබඳු ශල්‍යකර්ම හා විවිධ රෝග පරීක්ෂණ වලට භාජනය වේ. පපුවේ නහරගත හා ලේ ගමනාගමනය පිළිබඳ අවහිර බාධා ඇතිවීමට පුළුවන. අධික රුධිර පීඩනය ඇතිවේ.

 

වෘෂ්චික ලග්නය

පිටරට සහසම්බන්ධතා නිසා මිල මුදල් වාසි

ධනය අතින් සුබයි. ඒ රවි බුධ ධනස්ථානයේ වූ නිත්‍ය 09 වැන්නාධිපති සඳු 09 වැන්නේ වූ නිසාවෙනි. ඒ අතර නව ආදායම් මාර්ග පෑදේ. පිටරට සහසම්බන්ධතා නිසා ද මිල මුදල් වාසි සැලසෙනු ඇත. රැකී රක්ෂා අතින් 10 වැන්නේ අධිපති රවි බුධ සමඟ 02 වැන්නේ නිසා රැකියා උසස්වීම්, නව රැකියා ලැබීම් මෙන්ම රැකියා කීපයක නියැළීම නිසා ඇතිවන බලවත් භාවයට ද හේතු වේ.ගෘහ ජිවිතය නම් විවිධ කරුණු හේතුවෙන් ඇතිවන අවිවේකී බව නිසා සිතේ කනස්සල්ල මතුකෙරේ. වැඩකටයුතු අවුල්වන නිසා ව්‍යාකූලවන තත්ත්වයකි. තම ගෘහ ජීවිතයේ පසුතැවෙන බවක් පෙනෙන්නට තිබේ. අවිවාහක අයගේ විවාහ කටයුතු පෙර සේම ප්‍රමාදවන බවක් උසුලයි. එදිරිවාදීන්ගේ කෙණහිලිකම් මතුවන අවධියකි.සෞඛ්‍ය අතින් පිරිහෙන තත්ත්වයකි. හිසේ කඳේ බඩේ රෝග හා යටිබඩ මුත්‍රාශය පාද ස්ථානගත අසාත්මිකතා බහුල කෙරේ. සැර උෂ්ණ ආහාරපාන අවම කරන්න.

ධනු ලග්නය

ගෘහ ජීවිතය සතුටුදායක වෙයි

ධනය සම්බන්ධව විවිධ බාධා කම්කටලු උදාවන අතර පැවැති ධනය නිකරුණේ වියදම් වීම හා හදිසි ධන හානි එළඹිය හැක. අන් අයකුට දුන් මුදල් යළි හම්බනොවන තත්ත්වයක් පවතී. ප්‍රවේශම් වන්න.

රැකී රක්ෂා පිළිබඳ තිබූ ගැටලු විසඳේ. තනතුරු තානාන්තර හිමිවන් ඇත. බුද්ධිමත් ලෙස රැකියා ස්ථානයේ කටයුතු සාර්ථකව නිමකරන අතර ප්‍රධානීන්ගේ සහයෝගය නිසා ඇප උපකාර ලැබෙනු ඇත. ගෘහ ජීවිතය සතුටුදායක වෙයි. තම ශක්තිය අනුව අනාගත අභිවෘද්ධිය උදාකර ගැනීමට සමත්වනු ඇත. සමාජයේ ඕනෑම අභියෝගයකට මුහුණදීමේ ශක්තිය උදාවනු ඇති අතර බොහෝ දෙනෙකුගේ ප්‍රසාදය හිමිවනු ඇත. අභිමානයෙන් කාලය ගතකිරීමට හැකිවේ.

සෞඛ්‍ය අතින් බලනවිට යටිබඩ ආශ්‍රිත දාහගති, හර්නියා ශල්‍යකර්ම, මුත්‍රා ගල් ශල්‍යකර්ම වැනි තත්ත්වයනට තුඩුදිය හැක. උගුර, තුනටිය ආශ්‍රිතවද අපල පවත්නා වසරකි.

 

මකර ලග්නය

පිටරටකට සම්බන්ධ රැකියා උරුමවන වසරක්

අනුව ධන සම්පත් අතින් උසස් වන්නේ ධනස්ථාන අධිපති ගුරු ලග්නගතවීමෙන් සිත සතුටුවන අයුරින් ලෙහෙසියෙන්ම මිල මුදල් හිමිවන ලකුණු පෙන්වන නිසාය. චන්ද්‍රයා 10 වැන්නේ ආදායම් මාර්ග පිළිබඳ උරුමකම් ගෙන දෙනු ඇත.

රැකීරක්ෂා පිළිබඳ සලකා බලනවිට රාජ්‍යතාන්ත්‍රික මෙන්ම පිටරටකට සම්බන්ධ රැකියා උරුමවන වසරකි. එසේම ව්‍යාපාරික තම දියුණුවද සහිතයි.

ගෘහ ජීවිතය දෙස බලනවිට පෙනීයන කරුණ නම් සුතුටුදායක ජීවන රටාවක් ගොඩනැගෙන බවයි. සිය සහකරු හෝ සහකාරිය සමඟ ඉතා සතුටින් ගතකිරීමට හැකිවේ. අසල්වාසී ඥාති හිතෛශී ආදර කරුණාව හිමිවනු ඇත.සෞඛ්‍ය අතින් හිසේ කැක්කුම් වේදනා පවුවේ නහරගත ආපදා එළඹීමට පුළුවන. සැර උෂ්ණ ආහාරපාන වෙතින් උෂ්ණදායි රෝග බඩ පිපුම් හා මළ වියළි බව නිසා පීඩා විඳීමට සිදුවේ. ඇඟ නිවෙන ආහාරපාන ගන්න.

කුම්භ ලග්නය

ඥාති පාර්ශ්වයේ අයකුගෙන් නව රැකියා අවස්ථාවකට උපකාර

ධනය අතින් දේපළ ඉඩකඩම් ලාභද කිසියම් ආයෝජන කටයුතු කෙරෙන් ප්‍රතිලාභද උදාවේ. තමා අතරමඟ නවතා තිබූ ව්‍යාපාරයක ආදායම් සරු ලෙස යළි පවත්වාගෙන යාමට මඟ සැලසේ.

රැකීරක්ෂා පිළිබඳ සිතුවත් ව්‍යාපාර ලාභ, රැකියා මාරුවීම් පෙන්වයි. එසේ වෙනස්වන රැකියාව තමාට සුබවාදී ලෙස සිදුවෙයි. ඥාති පාර්ශ්වයේ අයකු ගෙන් නව රැකියා අවස්ථාවකට ඇප උපකාර ලැබේ.

ගෘහ ජීවිතයේ විටින් විට පසුතැවීමට හේතුවන කරුණක් උද්ගත වේ. තමාට තම වාසස්ථානය, සහකරු දමා දුර බැහැරකට යාමට සිදුවන අතර ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුෂ්කරතාවට මුහුණදෙනු ඇත. 07 වැන්න අධිපති රවි 11 හි නිසා බොහෝ බාධක මඟහරවා ගැනීමට අන්අයගේ උපකාර ලැබේ.සෞඛ්‍ය අතින් පපුවේ වියළිගති, දණහිස් ආපදා සහ යටිබඩ ආශ්‍රිත උවදුරු කුසට විසබීජ ඇතුළුවීම මෙන්ම උරහිස ආශ්‍රිත උවදුරුද මතුකරයි.

 

මීන ලග්නය

උනන්දුවේ තරමට ප්‍රතිඵල

ධනය අතින් උසස් ලැබීම්, හදිසි ආර්ථික වාසි, ලොතරැයි ජයග්‍රහණ ආදියට හේතුවෙයි. යල් පැනගිය අත්හැර දමා තිබූ ව්‍යාපාරයක් වැනි දෙයක් නැවත ආරම්භ කෙරේ. ඉන් යහපත් ලැබීම් වලට හේතුවේ.

රැකීරක්ෂා ආදියේ උසස්වීම්, යහපත් රැකියා, ස්ථාන මාරුවීම් මෙන්ම ප්‍රධානීන්ගේ ප්‍රසාදය හිමිවන අතර රැකියා කීපයක වගකීම් දැරීමට වාසනාව උදාවේ.

ගෘහ ජීවිතයද යහපත් ලෙස ගලායයි. බොහෝ උත්සව, ප්‍රියසම්භාෂණ වලට යොමුවන වසරකි. තම හිතැසියන් වෙනදාට වඩා දැඩි බැඳීමකින්, දැඩි අරමුණකින් අනාගතය දෙස සැලකිල්ලෙන් බලන වසරකි. සිය උත්සාහය උනන්දුව මත පෙරට යන ලකුණු පෙනේ.

සෞඛ්‍ය අතින් බලන විට උගුර, උරහිස ආශ්‍රිත හදිසි අනතුරු පාදයේ වළලුකර ආශ්‍රිත රෝග හා විවිධ ලේ විෂවීම් සැර උෂ්ණ ආහාර පානයෙන් අගුණද මතු කෙරේ.

 

අජිත් ධර්මසිරි

සුබසෙත ජ්‍යෙෂ්ඨ කර්තෘ