පාදයේ දෙවැනි ඇඟිල්ල බිම නොවදී නම් යුග දිවිය සාර්ථක නොවේ

මාර්තු 24, 2021

 

බුලත් හෙප්පුව දෑතින්ම ගත් යුවතිය පිරිස ඉදිරියට පැමිණියේ කෝල ලෙසින්. දුර තියාම ලැසි ගමනින් එන ඇය දෙස පියා හොඳින් බලා සිටින බව දයාසිරි දුටුවේය.

තමන් ළඟටම පැමිණ බුලත් හෙප්පුව පිළිගැන්වූ ඇගේ මුහුණ සැබැවින්ම ලස්සනයැයි දයාසිරිට සිතුණි.

ඒත්, ආපසු එන ගමනේදී පියා පැවසූ දේවලින් ඇය පිළිබඳව දයාසිරිගේ සිතේ තිබුණ බලාපොරොත්තු වියැකී ගියේ හිරු දුටු පිනි මෙන්.

“ඒ දැරිවිය නරක නෑ. ඇත්තටම ලස්සනයි. අපේ පුතාගේත් හිත යන්න ඇති. ඒත් එයාග් පාදවල ඇඟිලි වලින් පෙන්නුම් කරපු දේ ඒතරම් සුබ නෑ. එයාගේ සුළැඟිල්ල බිම වදින්නේ නෑ. ඒ නිසා අපි වෙන අතක් බලමු.”

සිරුරේ භාෂාව නැතිනම් Body Language පිළිබඳව අවබෝධයකින් සිටි අපේ වැඩිහිටියෝ එය ජීවිතයේ සාර්ථකත්වයට භාවිත කළ එක් අවස්ථාවකි මේ.

සැබැවින්ම ඔබත් සිරුරේ භාෂාව පිළිබඳව දැන සිටිනවා නම් එය කොයිතරම් නම් ප්‍රයෝජනවත් වේදැයි බලන්න.

කෙනෙකුගේ ගමනින්, බිමනින්, හැසිරීමෙන් මෙන්ම කතා බහෙන් මොන තරම් හොඳට ඔහු හෝ ඇයව තේරුම් ගත හැකිද යන බව ඔබට වැටහේවි.

අද අපි කෙනකුගේ පා ඇඟිලිවලින්, ගමනින් පමණක් නොව නිදා ගන්නා ඉරියව්වලිනුත් පුද්ගලයකුගේ ගති ස්වභාවය කෙබඳුදැයි බලමු.

 

පාදයේ දෙවැනි ඇඟිල්ල දික්නම් ඇය සැමියාට වද වේදනා ගෙන දෙයි. සුළැඟිල්ල බිම නොවදී නම් දිළිඳු බවේ සංකේතයකි. ඉතාම උස්ව ඇත්නම් වෙනත් සබඳතා ගොඩනගා ගනී. ගමන් කරන විට දෙවැනි ඇඟිල්ල බිම ස්පර්ශ නොවේ නම් යුග දිවිය සාර්ථක නොවනු ඇත.

තරාවියකු මෙන් ගමන් කරන්නේ නම් රහසේ පව් කරයි. කාම දිවියක් රහසේ ගත කරනු ඇත.

ඇත් ගමනක් වේ නම් ඇය ඉතාම වාසනාවන්තියක් වේ. සාර්ථක යුගදිවියක් ගෙවීමට හැකිවේ.

උරහිසේ එල්ලාවැටුන විශාල පපු පෙදෙසක් හිමි මහත් වූ උදරයක් හිමි ඉතාම මිටි කාන්තාව තුළ එතරම් වාසනා ගුණයක් නොමැත. බොහෝ වේගවත්ව කතා කරන අධික නින්දටම ප්‍රිය කාන්තාව එතරම් සුබදායක නොවේ.

ගංඟාවල ඔයක ජලතටාකයක දියබුන් ගසමින් ස්නානය කරන්නේ නම් ඔහු හෝ ඇය ක්‍රියාවේ දක්ෂ තැනට සුදුසු නුවණින් ක්‍රියාකරන අයකු වේ.

දෙඅත් දෙපසට පද්දමින් වේගයෙන් ගමන් කරන දෙපක්ෂයම ධෛර්ය සම්පන්න තැනට සුදුසු නුවණින් ක්‍රියා කරන අයයි.

හිස බිමට නවාගෙන වටපිට නොබලා ගමන් කරන අැයගේ චරිතය චංචලය. තැනට සුදුසු අන්දමින් වැඩකරන්නේ හුදෙක්ම ආත්මාර්ථකාමිත්වය මුල්කරගෙනයි.

 

දකුණු හස්තය හිසට තබා පාදය උඩ පාදය තබාගෙන දකුණු ඇලයට හැරී නිදාගන්නේ නම් ශ්‍රේෂ්ඨ නින්දකි. චරිතවත් අවංක සෞන්දර්යකාමිත්වයෙන් අනූනයි.

දෙපා විහිදුවාගෙන අක්‍රමවත්ව නිදන තැනැත්තා හෝ තැනැත්තිය එතරම් සංවේදී අයෙකු නොවේ. තදබලම ආත්මාර්ථකාමීය. මේ අය සමඟ ඇසුරු කිරීම අපහසු වේ.

ගුලිවී, වකුටුවී, නිදන්නේ තද මසුරු අයයි. ආර්ථික වශයෙන් දුර්වල අයද මෙසේ නිදයි.

කොට්ටය බදාගෙන මුනින් අතට නිදන්නේ නම් ඇය හෝ ඔහුගේ කාමශක්ත හැඟීම් සිතේ බහුලව පහළවන අයයි. සිහින ලොවක ජීවත් වේ.

තමා පසුකර යන්නා දෙස නැවත නැවත එබිකම් කර බලන්නා ගැන ද කිසිදු විශ්වාසයක් තැබිය නොහැක. ඒ අය සමඟ කුමන අන්දමේ ගනුදෙනුවකින්ද ගැටලු පැනනඟී.

 

 

උපදෙස්

ප්‍රවීණ ඡ්‍යොතිර්වේදී

ටී. හෙන්රි බෙම්මුල්ල