දුගී පැල්පතක උපත ලැබුවත් ධනවත් වී සැප සම්පත් ලැබෙන ගෙලක් ඔබටත් හිමි ද?

Secrets of body language
ඔක්තෝබර් 6, 2021

 

"එයා එහෙම කෙනෙක් කියලා මම දැනගෙන හිටියෙ නෑනෙ. එහෙම වුණා නම් කසාද බඳින්නෙ නැහැ"

"අපෝ ආශ්‍රය කරද්දි තමයි මිනිහ ගැන දැන ගත්තෙ. මහ කුණු ලෝබයෙක්"

"වලත්තයෙක් කියලා මුලින් දැනගත්ත නම් ගෙටවත් වද්දගන්නෙ නැහැ."

 

මේ වගේ ආඩපාලි කතා ඔබ ඕනෑ තරම් අහලා ඇති. ඔබටත් සමහර පුද්ගලයන් ගැන මෙවැනිම අත්දැකීම් තිබෙන්නත් පුළුවන. කෙසේ වෙතත් මෙයින් අදහස් වන්නේ කෙනකුගේ නියම ස්වරූපය හඳුනාගත හැක්කේ ඒ තැනැත්තා ඉතාමත් සමීපව ඇසුරු කිරීමෙන් පසුව බවයි. විශේෂයෙන් විවාහයකදී මේ තත්වය වඩාත් හොඳින් දැනෙයි. දෙදෙනකු හඳුනාගෙන, ආදරයෙන් බැඳී වසර ගණනාවක් ඇසුරු කර විවාහ වි කෙටි කලකින් ඒ පුද්ගලයාගේ නියම ස්වරූපය දකිද්දී අනෙක් කෙනා මෙවැනි දෙයක් කියන්නට පුළුවන්. ඒ කෙනෙක් හඳුනා ගන්නා එක එතරම්ම අපහසු කටයුත්තක් බැවිනි. ඒ නිසා ඇසුරු කිරීමේදී හෝ අතරමඟදී අවැඩක් අසාධාරණයක් සිදුවුණි නම් කම්පා වී පලක් නොමැත. කෙසේ හෝ ඉතා සමීප ඇසුරකට යාමට පෙර හෝ විවාහ වීමට පෙර හෝ නැතිනම් හවුලේ දෙයකට සම්බන්ධ කර ගැනීමට පෙර හෝ ඔහුගේ හෝ ඇයගේ නියම ස්වරූපය හඳුනා ගත හැකි නම් එය ඉතාමත් හොඳය. මානව දේහ ලක්ෂණ විද්‍යාව පිහිට වන්නේ මෙතැනදීය.

මේ ලිපි පෙළෙන් අප පුද්ගයකුගේ එක් එක් දේහ ලක්ෂණ අනුව ඒ පුද්ගලයා කෙබඳු කෙනෙක් විය හැකිද යන්න ඔබට ගෙන එනවා. ඒ අනුව අද කෙනකුගේ බෙල්ලේ පිහිටීම අනුව ඒ පුද්ගලයා මොන වගේ කෙනෙක් විය හැකිද යන්න ගැන විමසා බලමු.

කාන්තාවක් රූමත් වන්නට නම් මුහුණ ලස්සන විය යුතු අතරම හිස සිරුරට සම්බන්ධ වන බෙල්ලද ලස්සන විය යුතුය. කෙනකුගේ බෙල්ල දුටු පමණින්ම ඇගේ හෝ ඔහුගේ වාසනාවන්ත බව අපට දැනෙන්නේ බෙල්ලේ පිහිටීම ඒ තරමටම කෙනකගේ පෞරුෂයට, රූපයට බලපාන නිසාය.

 

* අස්ථි නොපෙනෙන ආකාරයට මසින් පිරී බෙල්ල රවුම්ව පැහැපත්ව පිහිටීම ශුභයි. එසේම බෙල්ලේ ඉරි තුනක් වැටී ඇත්නම් භාග්‍යමත් වේ. එය වාසනාවන්ත ලක්ෂණයකි. දුගී පැල්පතක උපත ලැබුවත් තරුණවියට පත්වූ පසු සැප සම්පත් එක්රැස් වේ.

* ගෙලෙහි උස අඟල් 4ක් පමණ පිහිටීම යහපත්ය. උසස් අයුරින් විවාහ දිවිය ගෙවයි. අන්‍යයන්ගේ ප්‍රසාදයට පත්වේ. එවැනි බෙල්ලක් ඇති යුවතියක් විවාහ වූ පසුව සැමියාට අතිශයින්ම හිතවත් දිවි ගෙවයි.

* ගෙල ඉලිප්පී ඇත්නම් මෙන්ම කෘෂ වූයේ නම් එවැනි තැනැත්කුට දුක උරුමයි. වාසනාව උරුම නොවේ. දුගී බවින් යුතු වේ. දිගැටි ගෙල ද මෙලෙසම අසුබවේ.. එවැන්නන් කම්සැපට දැඩිව බැඳේ. විවාහයේ නීරස බව කැපී පෙනේ. එවැනි දිගැටි බෙල්ලක් සහිත බිරියකගෙන් සැමියාට හා දරුවන්ට අපල සහිතයි. දරුපල හීනයි. දුක් කරදරවලට පටලැවේ. යුවතියකට උගුරු ඇටය පිටතට නෙරා ගිය ගෙලක් පිහිටියේ නම් එය අවසනාවේ ලකුණක් ලෙස හැඳින්වේ.

* ඉදිබු හැඩය සහිත ගෙල මහා වාසනාව ගෙන දේ. පංච මහා සම්පත්තිය ඇති වේ. සිනිඳු රෝමයන් තිබීමද භාග්‍ය ගෙන එන්නකි.

* ගෙල සම්පූර්ණයෙන් හෝ උගුර සහිත පෙදෙස කළු පැහැය ගැන්වී ඇත්නම් එය ඉතාම අසුබ ලකුණකි. අවැනි ගෙලක් ඇත්තේ වංක ගති ඇති අයටය. සම්පත් හීන වේ. යුග දිවිය නීරස බවකින් ගෙවීමට සිදු විය හැකි අතර දාරක සම්පත් ද හීන වේ.

* මසින් පිරී ,ඉරිතුනක් වැටී මිහිඟු බෙර කඳක් සේ ගෙල පිහිටියේ නම් එවැනි අයට පංච මහා සම්පත් ලැබේ. රාජ්‍ය තනතුරු දරා කීර්තිමත් දිවියක් ගෙවන්නේ මෙවැනි ගෙලක් ඇති අයයි. ජන ආකර්ෂණය දිනා ගනී. රන්රිදී මුතු මැණික් ලාභ ඇති වේ. සමාජ සේවයට නතුවේ. උසස් අයගේ ඇසුර ලැබේ.

* ගෙල පැතලිවීම ඉතාම අසුබයි. අවාසනාවේ ලකුණකි. මෙවැනි ගෙලක් පිහිටි අයකුගේ යුග දිවිය යහපත් නොවන බව දැක්වේ.

* ගෙල ඇත් හිසක් සේ හැඩ ඇති වීම ඉතාම භාග්‍යවන්තයි. රාජ්‍ය තනතුරු, රජයේ උසස් රැකී රක්ෂා ලැබේ. වයස අවුරුදු 30න් පසු යස ඉසුරු සම්පත් ලැබේ.

විවිධ ශිල්ප ශාස්ත්‍රයන්හි අති දක්ෂ වේ. පරිපාලනයට පිවිසේ. විදේශ සංචාරයට අවස්ථාව ලැබේ. ජනයා අතර යහපත් ලෙස ප්‍රසිද්ධියට පත්වන්නේ මෙවැනි පුද්ගලයන්ය.

දිවිය ජය ගන්නා චරිතයක් හිමි වේ. විවාහයෙන් සැමියාට සම්පත් ළඟාකර දෙන තැනට ඉබේම පත් වේ.

* කිසියම් යුවතියකගේ (කාන්තාවකගේ )ගෙල වැසීයනසේ රෝම පිහිටා තිබේ නම් ඇය අයථා සබඳතා ගොඩනගා ගන්නා තැනැත්තියක් විය හැකිය. මෙවැනි ලලනාවන් කලාවට දස්කම් දක්වන අතර රති සුවය පසුපස හඹා යන්නීය.

* කෙට්ටු සිහින් රැලි ඉස්මතු වී ඇති ගෙල සහ නෙරාගිය උගුර ඇත්තියක් නම් ඇය ප්‍රයෝගකාර මායම්වලින් අන්‍යයන් රවටන්නට දක්ෂය. ආත්මාර්ථකාමීත්වය ඉහළින්ම තිබේ. මුදල් පසුපස හඹායන චරිතයකි.

* ගෙල පිටුපස දකුණු පැත්තේ උපන් ලපයක් පිහිටීමද භාග්‍යවන්තයි. විවාහය කලට වේලාවට සිදුවේ. ජනප්‍රියත්වය ද හිමිවන අතර නිතර වස්තු සම්පත් විශාල ලෙස අත්පත් වේ. ගෙල වම් පත්තේ උපන් ලපයක් පිහිටීම එතරම් සුබ නොවේ.

 

 

උපදෙස්

ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී

බෙම්මුල්ලේ හෙන්රි