ලියාපදිංචියක් නැතිව සිදුකරන චාරිත්‍රානුකූල විවාහය වලංගු ද?

ජනවාරි 16, 2019

කුසුමා සහ ගුණවර්ධන විවාහ දිවියට එළඹුණේ මීට වසර 40කට පෙර ය. ඈත දුෂ්කර ගම්මානයක ජීවත් වූ ඔවුන්ට විවාහ ලියාපදිංචිය ගැන එතරම් අවබෝධයක් නොතිබිණි.

ඥාති හිතමිත්‍රාදීන්ට ආරාධනා කර ඔවුන් හමුවේ පෝරුවේ චාරිත්‍ර සිදු කර ඔවුහු විවාහ දිවියට එළඹ සිටියහ. ඒ මංලෝත්සවයෙන් පසුව සියලු දෙනා කුසුමා හා ගුණවර්ධන අඹු-සැමියන් ලෙස පිළිගත්හ. ඔවුහු දරුවන් තිදනකුගේ මව සහ පියා ද වූහ. විවාහයෙන් වසර 40කට පසු ගුණවර්ධනගේ මරණයෙන් පසුව බිරියත් දරුවනුත් ගැටලුවකට මුහුණ දෙන්නට විය.

මිය යන විට ගුණවර්ධන තම දේපළ කිසිවකුට පවරා තිබුණේ නැත. ඔහුගේ දේපළවල නීත්‍යානුකූල උරුමකරුවන් වන්නේ ඔහුගේ බිරිය හා දරුවන් බව ඔප්පු කිරීමේ දී විවාහ සහතිකය තීරණාත්මක සාධකයක් විය. ඒ කුසුමා හා ගුණවර්ධන අතර වලංගු විවාහයක් පැවති බව ඔප්පු කළ යුතු වීම නිසාය. එහෙත් ඔවුන් දෙදෙනා විවාහය ලියාපදිංචි කර සහතිකයක් ලබා ගෙන නොතිබිණ. මංගලෝත්සවයක් පවත්වා චාරිත්‍ර ඉටු කර විවාහ දිවියට එළඹුණු ඔවුන්ට නීතියෙන් පිළිසරණක් තිබේද? මෙවැනි විවාහයක් නීතිය හමුවේ වලංගු විවාහයක් වන්නේද? මේ ගැටලුවලට පිළිතුරු පැහැදිලි කිරීම මෙවර ලිපියේ අරමුණයි.

 

ලියාපදිංචිය

විවාහ ලියාපදිංචි කිරීම සඳහා රජයෙන් පත් කර ඇති විවාහ රෙජිස්ට්‍රාර්වරයා හමුවට ගොස් ලියාපදිංචි ලේඛනයේ පාර්ශ්වයන්ගේ අත්සන් තබා විවාහය ලියාපදිංචි කිරීමෙන් වලංගු විවාහයක් සිදු වේ.

ශ්‍රී ලංකාව තුළ විවාහයක් 1907 අංක 19 දරන සාමාන්‍ය විවාහ ආඥා පනත යටතේ හෝ 1952 අංක 44 දරන උඩරට විවාහ හා දික්කසාද යටතේ හෝ 1951 අංක 13 දරන මුස්ලිම් විවාහ හා දික්කසාද පනත යටතේ හෝ ලියාපදිංචි කළ හැකියි. සාමාන්‍ය විවාහ ආඥා පනත යටතේ විවාහයට දින 14කට පෙර විවාහ අපේක්ෂකයන් දෙදෙනා ඒ පිළිබඳ විවාහ රෙජිස්ට්‍රාර් වෙත දැනුම්දිය යුතුය.

ඉන්පසුව විවාහය පිළිබඳ දැන්වීම ප්‍රසිද්ධ කරනු ලබන අතර ඒ කාලසීමාව තුළ යම් විරෝධතාවක් ඉදිරිපත් නො වුණහොත් විවාහය ලියාපදිංචි කරනු ලැබේ.

විවාහය ලියාපදිංචියෙන් පසු විවාහක දෙපළ වෙත විවාහ සහතිකය නිකුත් කරනු ලබයි. ශ්‍රී ලංකාවේ නීතිය අනුව දෙදෙනකු අතර වලංගු විවාහයක් පවතින බව ඔප්පු කිරීමේ හොඳම සාක්ෂිය විවාහ සහතිකයයි. ඉහත සිද්ධියේ කුසුමා සහ ඇගේ දරුවන්, ගුණවර්ධන මිය යාමෙන් පසු එවැනි දුෂ්කරතාවකට මුහුණ දුන්නේ කුසුමා හා ගුණවර්ධන අතර වලංගු විවාහයක් පැවැති බවට ඔප්පු කිරීමේ හොඳම සාක්ෂිය වන විවාහ සහතිකය ලබා ගෙන නොතිබීම නිසාය.

ඔප්පු කිරීමේ ගැටලු

කුසුමා හා ගුණවර්ධන අතර ලියාපදිංචි විවාහයක් නොතිබුණ ද ඔවුන් අතර චාරිත්‍රානුකූල විවාහයක් පැවැති බව ඔප්පු කිරීමෙන් ඔවුන්ට මේ ගැටලුවේ දී සහන ලබා ගත හැකියි. එනම් මෙරට නීතිමය ප්‍රතිපාදන සහ නඩු වාර්තා සලකා බැලීමෙන් පැහැදිලි වන කරුණක් වන්නේ ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි විවාහ මෙන්ම චාරිත්‍රානුකූල විවාහ ද ඇති කර ගත හැකි බවය.

සාමාන්‍ය විවාහ ආඥා පනත තුළ චාරිත්‍රානුකූල විවාහ පිළිබඳ ප්‍රතිපාදන ඇතුළත් නොවේ. එහි ඇතුළත් වන්නේ ලියාපදිංචි විවාහ පිළිබඳ පමණි. එහි 41(1) වගන්තිය යටතේ විවාහයක් ඔප්පු කිරීමේ දී විවාහ ලියාපදිංචිය හොඳම සාක්ෂිය ලෙස දක්වා තිබෙන නිසා චාරිත්‍රානුකූලව සිදු කරන ලද විවාහ ද අධිකරණයේ පිළිගැනීමට ලක්ව තිබේ.

ඒ අනුව මෙරට සාමාන්‍ය නීතිය යටතේ ලියාපදිංචි විවාහ හා චාරිත්‍රානුකූල විවාහ යන දෙවර්ගයම සිදුකර ගත හැකියි.

චාරිත්‍රානුකූල විවාහ වුව ද සිදු කර ගත යුත්තේ පසුගිය සතියේ විස්තර කළ වලංගු විවාහයක් සඳහා පාර්ශ්වයන් සපුරාලිය යුතු මූලික අවශ්‍යතා සපුරා තිබේ නම් පමණි.

එනම් අවුරුදු 18 සම්පූර්ණ කර තිබීම, විවාහ අපේක්ෂකයන් අතර තහනම් ඥාති සබඳතා නොතිබීම, කලින් වලංගු විවාහයකට එළඹ නොතිබීම, විවාහ අපේක්ෂකයන් දෙදෙනාගේ කැමැත්ත තිබීම යන කරුණු චාරිත්‍රානුකූල විවාහයේ දී ද සපුරා තිබිය යුතුය. ත්‍යාගරාජා එදිරිව කුරුක්කල් 25 ව්ඹ්අ 89 නඩුවේ දී අධිකරණය තීරණය කර තිබෙන්නේ වයස අවුරුදු 11ක ගැහැනු ළමයකු සමඟ කරන ලද චාරිත්‍රානුකූල විවාහයක් වලංගු නොවන බවයි.

 

උඩරට නීතිය

සාමාන්‍ය නීතිය යටතේ ලියාපදිංචි හා චාරිත්‍රානුකූල විවාහ පිළිගැනීමට ලක් වුව ද උඩරට විවාහ හා දික්කසාද පනත යටතේ චාරිත්‍රානූකූල විවාහ නීත්‍යනුකූල නොවේ.

උඩරට විවාහ හා දික්කසාද පනතේ 3 වන වගන්තිය යටතේ ලියාපදිංචි නොකළ විවාහ නීත්‍යානුකූල නොවන බව දක්වා තිබේ. ඉන් අදහස් වන්නේ ලියාපදිංචි නොකළ වෙනත් කිසිදු විවාහයක් නීත්‍යානුකූල නොවන බවයි. පොඩිනෝනා එදිරිව හේරත්හාමි (1985) 2 ඉඹ්අ 238 නඩුවේ දී අධිකරණය තීරණය කර තිබෙන්නේ වලංගු උඩරට විවාහයක් සඳහා ලියාපදිංචිය අත්‍යවශ්‍ය බවයි. චාරිත්‍රානුකූල උඩරට විවාහයක් වලංගු නොවන බව එහි වැඩිදුරටත් දැක්වේ.

2019/01/16 තරුණි බලන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.