කාලාවරෝධී හිමිකම ගැන දැනුවත්ද?

ජනවාරි 30, 2019

ශ්‍රියානි සමඟ විවාහ වූ ගුණවර්ධන සිය පියා සහ මව සමඟ කුඩා කල සිටම ජීවත් වූ නිවෙසේම ජීවත් වන්නට විය. ඔවුන්ගේ ඉඩමේ පොල් වගා කර තිබුණු අතර ඒවායින් සැලකිය යුතු ආදායමක් ද ලැබූහ. ඔවුහු දරුවන් දෙදෙනකුගේ මව හා පියා ද වූහ.

ගුණවර්ධනගේ මවගේ හා පියාගේ මරණ සිදු වී කාලයක් ඉක්ම යන විට ඉඩම සම්බන්ධව බරපතළ ප්‍රශ්නයකට මුහුණ දෙන්නට ඔවුන්ට සිදු විය.

පුද්ගලයෙක් ගුණවර්ධන හමුවට පැමිණ පවසා සිටියේ ඔහුට එම ඉඩමේ අයිතියක් තිබෙන බවය. තම පියාගෙන් තෑගි ඔප්පුවකින් ඒ ඉඩම එම පුද්ගලයාට හිමි වූ බව ද පවසා සිටියේය. තව ද ඒ පුද්ගලයා පවසා සිටියේ ඔහුගේ අත්තා මුත්තා ආදීන්ගේ සිටම මේ ඉඩම ඔවුන්ට අයිතිව තිබූ බවට පැහැදිලි ඔප්පු තිබෙන බවය. ගුණවර්ධනට ඉඩම සම්බන්ධයෙන් කිසිදු ඔප්පුවක් නොවීය. ඔහු දැන සිටි එකම දෙය වූයේ ඔහු උපන්දා සිටම එම ඉඩමේ පිහිටි නිවෙසේ පදිංචිව සිටි බවත් ඉඩමේ වගාවන්ගේ පලදාව ඔහුගේ මවුපියන් ද ඔහු ද ලබා ගත් බවත් ය. ඉඩමේ පදිංචියෙන් ඉවත්ව යන ලෙස එම පුද්ගලයා දන්වා සිටියේ ය. එහෙත් ගුණවර්ධන ඉඩමෙන් ඉවත් නොවූ අතර දිගින් දිගටම එහි පදිංචිව සිටියේය. ඉන්පසු එම පුද්ගලයා ගුණවර්ධන ඉඩමෙන් නෙරපීමටත් ඉඩමේ අයිතිය ලබා ගැනීමටත් නඩු පැවරීය. ගුණවර්ධනගේ තර්කය වූයේ ඔහු ද ඔහුට පෙර ඔහුගේ මව හා පියා ද මේ ඉඩම දීර්ඝ කාලයක් තිස්සේ භුක්ති විඳී නිසා මේ ඉඩම ඔහුට අයිති බවය.

ඔප්පු නැති වුව ද අවුරුදු 10කට වැඩි කාලයක් ඉඩමක් භුක්ති වින්දොත් එහි අයිතිය තමන්ට ලැබෙන්නේදැයි යන්න බොහෝ දෙනෙක් අසනු ලබන ප්‍රශ්නයකි. තමන්ට එසේ අයිතිය ලැබෙන්නේ යැයි ගුණවර්ධන ද දැඩි විශ්වාසයක පසුවිය. ඒ අනුව ඉඩමක් වසර 10කට වැඩි කාලයක් භුක්ති වි¼දීමෙන් එහි අයිතිය ලැබෙන්නේ ද යන්න විමසා බැලීම මෙවර ලිපියේ අරමුණයි.

කාලවරෝධී ආඥාපනත

මෙහි දී අදාළ වන නීතිමය ප්‍රතිපාදනය වන්නේ 1871 අංක 22 දරන කාලාවරෝධි ආඥා පනතයි. කාලාවරෝධය යනුවෙන් අදහස් වන්නේ සහන ලබා ගැනීම සඳහා අධිකරණයට යායුතු කාල වකවානුවයි. උදාහරණයක් ලෙස හානි පූර්ණය සඳහා පවරන නඩුවක් අදාළ සිද්ධියෙන් වසර දෙකක් තුළ පැවරිය යුතුය. මේ ආකාරයෙන් එක් එක් වර්ගයේ නඩු පැවරිය යුතු කාල සීමාව කාලාවරෝධි ආඥා පනතේ දැක්වේ. ඒ අනුව ඉඩමක අයිතිය සම්බන්ධයෙන් වැදගත් වන්නේ කාලාවරෝධි ආඥා පනතේ තුන් වැනි වගන්තියයි. ඉඩමක හෝ නිශ්චල දේපළක අයිතිය භුක්තිවිඳීම මත ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ නම් එවැනි අයකුගේ භුක්තිය කෙසේ විය යුතු ද යන්න එම වගන්තියේ දක්වා තිබේ. ඒ අනුව එම ඉඩම අඛණ්ඩ, නිර්බාධිත, ප්‍රතිවිරුද්ධ හෝ ස්වාධීන ලෙස වසර 10ක් යමෙක් සන්තකයේ පැවතුණහොත් ඒ පුද්ගලයාට ඒ ඉඩම කාලාවරෝධයෙන් හිමි වේ යැයි කියනු ලැබේ.

ඔප්පු කළ යුතු අංග

කාලාවරෝධයෙන් අයිතිය ඉල්ලා සිටින පුද්ගලයකු ඉඩමට අදාළව ඔහුගේ සන්තකය සම්බන්ධයෙන් අධිකරණයේ ඔප්පු කළ යුතු අංග කිහිපයකි. එනම් අඛණ්ඩ හා නිර්බාධිත භුක්ති විඳීම, ස්වාධීන හෝ ප්‍රතිවිරුද්ධ භුක්ති විඳීම, භෞතික හිමිකාරීත්වය සහ භුක්ති විඳී බිම් ප්‍රමාණය යන අංග ඔප්පු කළ යුතුය.

කාලාවරෝධි ආඥා පනතේ 3 වැනි වගන්තියට අනුව වසර 10ක අඛණ්ඩ හා නිර්බාධිත භුක්තියක් තිබූ බව අධිකරණය හමුවේ ඔප්පු කළ යුතු වේ. අඛණ්ඩ භුක්තිය යනුවෙන් අදහස් වෙන්නේ අයිතිය ඉල්ලා සිටින පුද්ගලයා වසර තුළ නොකඩවාම එම ඉඩම භුක්ති විඳ තිබිය යුතු බවයි. නිර්බාධිත යනුවෙන් අදහස් වෙන්නේ එම කාලය තුළ කිසිදු අයකුගේ බාධාවකින් තොරව එම ඉඩම භුකති විඳ තිබීමයි. ප්‍රනාන්දු එරෙහිව විජේසූරිය නඩුවේ දී අධිකරණය තීරණය කර ඇත්තේ වසර 10ක කාලය තුළ භුක්ති විඳීම යම් අවස්ථාවක නතර වී තිබේ නම් හෝ භුක්තියට බාධාවක් සිදු වී තිබේ නම් කාලාවරෝධයෙන් අයිතිය නොලැබෙන බවයි. නමුත් භුක්තියේ අඛණ්ඩභාවය අදාළ නොවන අවස්ථා ද නඩු තීන්දු තුළින් පෙන්වා දී තිබේ. හේන් වගාව වැනි නිශ්චිත කාල වකාවානුවල සිදු කරන වගා කටයුතුවල දී අඛණ්ඩ භුක්තිය අදාළ නොවේ. එහිදී අඛණ්ඩ භුක්තිය ලෙස සලකනු ලබන්නේ අදාළ වගා කාල තුළ භුක්ති විඳීමයි. භුක්තිය ඛණ්ඩනය වීම හෝ බාධා කිරීම යන්න හොඳීන් විද්‍යාමාන විය යුතු අතර එය අනුමානයෙන් නිගමනය කළ හැකි නොවේ. ජේන් නෝනා එදිරිව ගුණවර්ධන නඩුවේ දී මේ ගැන තීරණය කර තිබේ. එක් හුදකලා සිදුවීමකින් පමණක් අයිතිය ඛණ්ඩනය වන්නේ නැත. සයිමන් අප්පු එදිරිව ක්‍රිස්ටියන් අප්පු නඩුවේ දී මේ ගැන විස්තරාත්මකව විග්‍රහ කර ඇත. තවද ඔප්පුවක් ලියාපදිංචි කිරීම බාධා කිරීමක් ලෙස නො සැලකෙන බව අප්පුහාමි එදිරිව ගුණතිලක නඩුවේ දී තීරණය කර තිබේ.

 

 

2019/01/30 තරුණි බලන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.