අසාධාරණ ලෙස සේවය අහිමි කිරීමක් ද?

පෙබරවාරි 6, 2019

දමයන්ති පුද්ගලික ආයතනයක ආරක්ෂක නිලධාරිනියක් ලෙස සේවය කරමින් සිටියා ය. එක් දිනක් වාහනයකින් පැමිණි පිරිසක් සිය අනන්‍යතාව ඔප්පු නොකර දේශපාලනඥයකුගේ නම සඳහන් කරමින් බලහත්කාරයෙන් ආයතන පරිශ්‍රය තුළට ඇතුළුවීමට තැත් කළහ.

ඇය සහ ඔවුන් අතර වචන හුවමාරුවක් සිදු වූ අතර සිද්ධිය සිතුවාට වඩා බරපතළ විය. දමයන්ති සිය රාජකාරිය නිසිපරිදි ඉටු නොකරන බවට පැමිණිල්ලක් ආයතනයට ඉදිරිපත් වී තිබිණි. ඉන්පසුව දමයන්තිගේ සේවය අත්හිටවනු ලැබූ අතර විනය පරීක්ෂණයක් පැවැත්වෙමින් තිබිණ. විනය පරීක්ෂණය වසරකටත් වැඩි කාලයක් ඇදෙමින් පැවතිණ. ඒ අතරතුර හිටි අඩියේම දමයන්ති සේවයෙන් ඉවත් කරන බව සඳහන් කරමින් ලිපියක් ලැබිණ.

විධිමත් විනය පරීක්ෂණවලින් තොරව අසත්‍ය චෝදනා ගොනු කරමින් මෙසේ සේවය අහිමි කර දැමූ සේවක සේවිකාවන් පිළිබඳ ඔබ කොතෙකුත් අසා තිබෙන්නට පුළුවන. මෙවැනි සිද්ධිවලට ගොදුරුවන ඇතැම්හු නීතියේ පිළිසරණ සොයන නමුත් වැඩිදෙනෙක් නීතිය ගැන නොදැනුවත් නිසා නීතියේ පිළිසරණ සෙවීමට නොපෙළඹෙති. තවත් සමහරකු තමාට වූ අසාධාරණය නිහඬව ම විඳදරා ගනිති. කම්කරු නීති පිළිබඳ සේවකයන්ගේ නොදැනුවත් බව සහ සේවකයන් අසාධාරණ ක්‍රියා නිහඬව විඳදරා ගැනීම ප්‍රයෝජනයට ගන්නා සේවා යෝජකයන් කම්කරු නීති උල්ලංඝණය කරමින් සේවකයන් පීඩාවට පත්කරන අවස්ථා දුලබ නොවේ. එනිසා අද ලිපියෙන් පැහැදිලි කරන්නේ අසාධාරණ ලෙස සේවය අහිමි කිරීමක දී සේවකයකුට ලබා ගත හැකි නීතියේ පිළිසරණ පිළිබඳවය.

සහන ඉල්ලන්නේ කාගෙන්ද?

පුද්ගලික අංශයේ සේවයේ නියුතු දමයන්ති වැනි සේවකයකුගේ සේවය අහිමි කිරීමක දී සහන අයැදිය හැකි ප්‍රධානතම ආයතනය වන්නේ කම්කරු විනිශ්චය සභාවයි. සාමාන්‍ය ව්‍යවහාරයේ දී එය කම්කරු උසාවිය නමින් ද හඳුන්වයි. කාර්මික ආරවුල් පනතට 1957 දී කරන ලද සංශෝධනයක් අනුව කම්කරු විනිශ්චය සභා පිහිටුවා තිබේ. නඩු කටයුතු සම්බන්ධව ඔබ දැනුවත්ව සිටින අධිකරණ පද්ධතියට වඩා වෙනස් වූවක් ලෙස කම්කරු විනිශ්චය සභාව හැඳීන්විය හැකිය. එය ප්‍රධාන අධිකරණ පද්ධතියෙන් බැහැරව ආරවුල් විසඳන විකල්ප ආයතනවලින් එකකි. කඩිනමින් සහ අඩු වියදමින් ආරවුල් විසඳීම එහි ප්‍රධාන පරමාර්ථයයි. එමෙන්ම අධිකරණයේ වැඩ ප්‍රමාණය අඩුකර ගැනීමත් එහි එක් අරමුණකි. ප්‍රධාන ධාරාවේ අධිකරණ ක්‍රියාවලිය අනුගමනය කිරීමක් මෙහිදී සිදු නොවේ. මෙහිදී ප්‍රධාන වශයෙන් උත්සාහ දරන්නේ යුක්ති සහගත සහ සාධාරණ තීන්දුවක් ලබා දීමටය. කම්කරු විනිශ්චය සභාවේ විනිශ්චය කරනු ලබන නිලධාරියා හඳුන්වන්නේ විනිසුරුවරයා ලෙස නොව සභාපතිවරයා ලෙසය. එම නිලධාරියා අධිකරණ සේවා කොමිසමෙන් පත්කරනු ලබන අධිකරණ නිලධාරියෙකි.

සහන ඉල්ලිය හැක්කේ කාටද?

රාජ්‍ය සේවයේ නොවන වෙනත් ඕනෑම ආයතනයක සේවය කරන ඉහළම විධායක නිලධාරියාගේ සිට සාමාන්‍ය කම්කරුවා දක්වා ඕනෑම සේවකයකුට කම්කරු විනිශ්චය සභාවෙන් සහන ඉල්ලා සිටිය හැකිය. ඒ අනුව රාජ්‍ය සේවයේ නිරත සේවකයන්ට කම්කරු විනිශ්චය සභාවේ සහන ඉල්ලා සිටිය නොහැකි බව මතක තබා ගත යුතු වැදගත් කරුණකි.

කම්කරු විනිශ්චය සභාවෙන් ඉල්ලීමක් කිරීමට නම් සේවා යෝජකයා විසින් සේවකයාගේ සේවය අහිමි කරනු ලැබ තිබීම අනිවාර්යය වේ. සේවය අහිමි වීම සිදුවී ඇත්තේ සේවකයා ස්ව කැමැත්තෙන් සේවයෙන් ඉවත් වීමෙන් නම් එවැනි අවස්ථාවක කම්කරු විනිශ්චය සභාවට යා නොහැකිය. එසේ නම් සේවා යෝජකයා විසින්ම සේවකයාගේ සේවය අහිමි කර තිබිය යුතුය.

ඉල්ලිය නො හැකි අවස්ථා

සේවකයකු සේවයේ නිරතව සිටිය දී කම්කරු විනිශ්චය සභාවෙන් සහන ඉල්ලා සිටිය නොහැකිය. එනම් සේවා කොන්දේසි හා නියමයන් සම්බන්ධ සහන ඉල්ලා සිටිය නොහැකිය. උදාහරණ ලෙස වැටුප්, උසස්වීම් සම්බන්ධයෙන් කම්කරු විනිශ්චය සභාවෙන් සහන ඉල්ලා සිටිය නොහැකිය. එසේ වුවද සේවයේ නිරතව සිටිය දී සහන ඉල්ලා සිටිය හැකි යම් ව්‍යතිරේඛි අවස්ථා ද තිබේ. එනම් සේවකයාගේ සේවය අහිමිකර නොතිබුණ ද සේවකයාට මුහුණ දීමට සිදුව ඇති තත්ත්වයන් සලකා බැලීමේ දී සේවය අවසන්කර ඇතැයි නිගමනය කරනු හැර සේවකයාට වෙනත් විකල්පයක් නොමැති අවස්ථාවක කම්කරු විනිශ්චය සභාවේ සහන ඉල්ලා සිටිය හැකිය. උදාහරණයක් ලෙස කිසිදු විනය පරීක්ෂණයක් පැවැත්වීමෙන් තොරව දීර්ඝ කාලයක් තිස්සේ සේවකයකුගේ සේවය අත්හිටුවා ඇති අවස්ථාවක කම්කරු විනිශ්චය සභාව හමුවට යා හැකිය. මෙවැනි අවස්ථා අනුමිත වශයෙන් සේවය අවසන් කර ඇති අවස්ථා ලෙස සලකනු ලැබේ.

කොහොමද ඉල්ලන්නේ?

කම්කරු විනිශ්චය සභාව වෙත ඉල්ලීම කළ යුත්තේ අයදුම්පතක් මඟිනි. එහි දී සහන ඉල්ලා සිටින තැනැත්තා ඉල්ලුම්කරු වශයෙන් හඳුන්වනු ලැබේ. මෙහි දී අසාධාරණයට ලක් වූ සේවකයාටම එම අයදුම්පත ඉදිරිපත් කළ හැකිය. එසේ නොමැති නම් සේවකයා නියෝජනය කරන වෘත්තීය සමිතියකට ද තම සේවකයා වෙනුවෙන් ඒ අයදුම්පත ඉදිරිපත් කළ හැකිය. කම්කරු විනිශ්චය සභාව හමුවේ කරුණු ඉදිරිපත් කිරීම පාර්ශ්වයන් විසින්ම වුව ද කළ හැකිය. එසේ නොමැති නම් නීතිඥවරයකු හෝ වෙනත් අයකු ද පාර්ශ්වයක් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට යෙදවිය හැකිය.

 

2019/02/06 තරුණි පුවත්පත බලන්න.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.