සාමුහික ගිවිසුම ගැන දැනුවත්වන්න

පෙබරවාරි 13, 2019

ඊට අදාළ නීතිමය ප්‍රතිපාදන මොනවාද?

පාසල් අධ්‍යාපනය අවසන් වීමත් සමඟම ගයනි ලිපිකාරිණියක ලෙස පෞද්ගලික ආයතනයක පත්වීමක් ලැබුවාය. වැඩ රාජකාරි ඇරැඹීමට පෙර සේවායෝජකයා එනම් එම පෞද්ගලික ආයතනය සමඟ සේවා ගිවිසුමකට එළඹීමට ඇයට සිදුවූවාය. අදාළ සේවා කොන්දේසි සහ නියම එහි ඇතුළත් විය. සේවා යෝජකයා එම ගිවිසුම සකස් කර තිබුණු අතර එහි නියම සහ කොන්දේසිවලට එකඟකත්වය පළ කරමින් ඇය එහි අත්සන් තැබුවාය.

සේවකයන් දෙදහසක් පමණ සේවය කරන එම ආයතනයේ ප්‍රබල වෘත්තීය සමිතියක් ද ක්‍රියාත්මක විය. සේවා යෝජකයා සමඟ වෘත්තීය සමිතිය සාමුහික ගිවිසුමකට එළඹෙන බව ඇයට දැනගන්නට ලැබිණි. සේවකයන් මහත් උනන්දුවෙන් ඒ ගැන සාකච්ඡා කරන්නට විය. ගයනිට ප්‍රශ්න රැසක් මතුවන්නට විය. සාමුහික ගිවිසුම යනු කුමක්ද, ඇය ආයතනය සමඟ එළඹුණු පෞද්ගලික සේවා ගිවිසුම හා සාමුහික ගිවිසුම අතර වෙනස කුමක්ද, සාමුහික ගිවිසුම ඇයට බලපාන්නේ කෙසේද ආදී වශයෙන් ප්‍රශ්න රැසකට පිළිතුරු සොයා ගැනීමට ඇයට අවශ්‍ය වූවාය.

ගයනි සේවය කරන ආයතනයේ පමණක් නොව ඔබ සේවය කරන ආයතනවල ද සේවකයන් සහ සේවා යෝජකයන් අතර එළඹි සාමුහික ගිවිසුම්වලට ගැන ඔබ දැනසිටින බවට සැකයක් නැත. එහෙත් සාමුහික ගිවිසුමක් යනු කුමක්දැයි බොහෝ සේවකයන්ට අවබෝධයක් නැත. එනිසා මෙවර ලිපියෙන් පැහැදිලි කරන්නේ සාමුහික ගිවිසුම යනු කුමක්ද යන්න සහ ඊට අදාළ නීතිමය ප්‍රතිපාදන පිළිබඳවයි.

මොකක්ද මේ ගිවිසුම

සේවකයන් එසේත් නැතිනම් වෘත්තීය සමිතියක් හෝ වෘත්තීය සමිති සහ සේවා යෝජකයා අතර එළඹෙන ගිවිසුමක් ලෙස සාමුහික ගිවිසුම යන්න සරලව හැඳීන්විය හැකිය. එය සේවා කොන්දේසි සහ නියම, කාර්මික ආරවුල් සමථයකට පත් කරගන්නා ආකාරය ආදිය පිළිබඳව විය හැකිය. සේවකයන් සහ සේවා යෝජකයන් අතර සාමුහික කේවල් කිරීමේ සාර්ථක ප්‍රතිඵලයක් ලෙස සාමුහික ගිවිසුම හැඳීන්විය හැකිය. තනි තනි සේවකයා ලෙස නොව සේවකයන් විශාල පිරිසක් එසේත් නැතිනම් වෘත්තීය සමිතියක් ලෙස සේවා යෝජකයන් වෙත තම ඉල්ලීම් ඉදිරිපත් කර සාමුහිකව කේවල් කිරීමේ අවස්ථාවක් මෙහිදී උදාවේ.

නීති ප්‍රතිපාදන

සාමුහික ගිවිසුමට අදාළ ප්‍රධානම නීති ප්‍රතිපාදනය වන්නේ කාර්මික ආරවුල් පනතයි. එමෙන් ම 1935 අංක 14 දරන වෘත්තීය සමිති ආඥා පනත සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 සහ 15 වගන්තිවල දැක්වෙන නීතිමය ප්‍රතිපාදන ද සාමුහික ගිවිසුමට අදාළ පසුබිම කෙරෙහි බලපායි. භාෂණයේ ප්‍රකාශනයේ අයිතියද සාමාකාමීව රැස්වීමේ නිදහස ද සමාගමයේ නිදහස ද වෘත්තීය සමිති පිහිටුවීමේ සහ වෘත්තීය සමිතිවලට බැඳීමේ නිදහස ද මූලික අයිතිවාසිකම් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා තිබේ. සාමුහික ගිවිසුම්වලට එළඹීමේ මූලික අඩිතාලම එයින් ශක්තිමත් වේ. එනම් වෘත්තීය සමිති පිහිටුවීමේ සහ වෘත්තීය සමිතිවලට බැඳීමේ අයිතිය සුරක්ෂිත කර තිබීම නිසාය. වෘත්තීය සමිති පිහිටුවීමේ සහ වෘත්තීය සමිතිවලට බැඳීමේ අයිතිය පළමුවර පිළිගත් ප්‍රතිපාදනය වන්නේ වෘත්තීය සමිති ආඥා පනතයි.

නීතිමය රාමුව

සාමුහික ගිවිසුම් නීත්‍යානුකූල කිරීමේ නීතිමය රාමුව දක්වා තිබෙන්නේ කාර්මික ආරවුල් පනතේය. එහි 5 වැනි වගන්තියේ සිට 10 වැනි වගන්තිය දක්වා ප්‍රතිපාදන සාමුහික ගිවිසුමට අදාළ වේ. එහි සාමුහික ගිවිසුමකට එළඹිය හැකි පාර්ශ්වයන් කවුද යන්න දක්වා තිබේ. ඒ අනුව එහි එක් පාර්ශ්වයක් සේවා යෝජකයෙක් හෝ සේවායෝජකයන් විය හැකිය. අනෙක් පාර්ශ්වය සේවකයන් හෝ සේවකයන්ගෙන් සමන්විත වෘත්තීය සමිතියක් හෝ වෘත්තීය සමිති විය හැකිය.

කවර කරුණු සඳහා ද?

සාමුහික ගිවිසුමක් ඇතිකරගත හැක්කේ කවර කරුණු සම්බන්ධයෙන් ද යන්න පිළිබඳ පනතේ දක්වා තිබේ. එනම් සේවා කොන්දේසි සහ නියමයන් පිළිබඳ, පාර්ශ්වයන්ගේ වරප්‍රසාද, අයිතිවාසිකම් හෝ කාර්යය පිළිබඳ හෝ කාර්මික ආරවුල් නිරවුල් කර ගත හැකි ආකාරය පිළිබඳ සාමුහික ගිවිසුම්වලට එළඹිය හැකිය. එම ගිවිසුමකට ඇතුළත් වන පාර්ශ්ව එනම් සේවා යෝජකයන්, සේවකයන් කවරහුද වෘත්තීය සමිති කවරේද යන්න පිළිබඳ සාමුහික ගිවිසුමේ සඳහන් කළ යුතුය.

සාමුහික ගිවිසුම ලිඛිතව සකස් කර පාර්ශ්වයන් හෝ එක් එක් පාර්ශ්වයේ නියෝජිතයන් අත්සන් කර එය කම්කරු කොමසාරිස්වරයා වෙත යැවිය යුතු වේ. එවිට කම්කරු කොමසාරිස්වරයා එය නොපමාව ගැසට් පත්‍රයේ පළකිරීමට කටයුතු කළ යුතුය. ඒ අනුව සාමුහික ගිවිසුම බලාත්මක වන්නේ ගැසට් පත්‍ර යේ පළ කළ දිනයේ සිට හෝ එම ගිවිසුමේ සඳහන් කර ඇති දිනයක සිටය. එම දිනයේ සිට ගිවිසුමේ දක්වා තිබෙන කාලසීමාවක් හෝ නිශ්චිත දිනයක් දක්වා බලපැවැත්වේ. 

 

2019/02/13 තරුණි බලන්න.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.