කාන්තාව හා සබැඳි නීති ප්‍රතිපාදන

මාර්තු 13, 2019

වර්තමානයේ කාන්තාවගේ භූමිකාව වඩාත් සංකීර්ණ වී තිබේ. නිවෙස, කාර්යාලය, සමිති සමාගම් ආදී නොයෙක් ක්ෂේත්‍ර තුළ ඇය විවිධ භූමිකාවල නිරතව සිටින්නීය. එනිසා කාන්තාවගේ ආරක්ෂාව, සමානාත්මතාව, අයිතිවාසිකම් ආදිය පිළිබඳ අන්කවරදාටත් වඩා වර්තමානයේ සාකච්ඡාවට බඳුන් වී තිබේ.

ඒ සම්බන්ධ නීති සකස්වීමට පවා බලපා තිබෙන්නේ එම පසුබිමයි. ඒ අනුව කාන්තාවන්ට අදාළව සැකසුණු නීති ප්‍රතිපාදන රැසකි. මේ සතියේ ලිපියෙන් පැහැදිලි කරන්නේ කාන්තාවන්ට අදාළ එවැනි නීති ප්‍රතිපාදන පිළිබඳයි.

සීඩෝ සම්මුතිය හා කාන්තා ප්‍රඥප්තිය

එක්සත් ජාතීන්ගේ සංවිධානය 1979 දී සම්මත කරගත් කාන්තාවන්ට එරෙහි සියලු ආකාර වෙනස්කම් තුරන්කිරීමේ ජාත්‍යන්තර සම්මුතිය (සීඩෝ සම්මුතිය) කාන්තා අයිතිවාසිකම් විකාශනයේ පුරෝගාමි අවස්ථාවකි. ශ්‍රී ලංකාවද 1981 දී මේ සම්මුතිය අපරානුමත කර තිබේ. ඒ අනුව අප ඒ සම්මුතිය අනුව කටයුතු කිරීමට එකඟ වී තිබේ.

සීඩෝ සම්මුතියේ ඇතුළත් වන්නා වූ ජාත්‍යන්තර ප්‍රමිතීන් රැසක් ඇතුළත් කරමින් ශ්‍රී ලංකාව 1993 දී කාන්තා ප්‍රඥප්තිය සම්මත කරගෙන තිබේ. ස්ත්‍රී- පුරුෂභාවය පදනම් කරගත් සියලු ආකාර වෙනස්කම් තුරන් කිරීම සහ ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව ළඟා කර ගැනීම කාන්තා ප්‍රඥප්තියේ මූලික අරමුණයි. දේශපාලන සහ සිවිල් අයිතිවාසිකම්, පවුල් ඒකකය තුළ අයිතිවාසිකම්, අධ්‍යාපනයට සහ පුහුණුවීමට ඇති අයිතිය, ආර්ථික කටයුතුවලට සහ එහි ප්‍රතිලාභවලට ඇති අයිතිය, සෞඛ්‍ය ආරක්ෂාව සහ පෝෂණයට ඇති අයිතිය, සමාජ වෙනස්කම්වලින් ආරක්ෂාවීමේ අයිතිය, ස්ත්‍රී පුරුෂ භේදයෙන් ඇතිවන සැහැසි ක්‍රියාවලින් ආරක්ෂාවීමේ අයිතිය කාන්තා ප්‍රඥප්තිය තුළ ඇතුළත් කර තිබේ. මෙසේ කාන්තා ප්‍රඥප්තිය තුළ කාන්තා අයිතිවාසිකම් ඉතා පුළුල් ලෙස ඇතුළත් කර තිබුණ ද එය නීතිමය බැඳීමක් ඇති ලියවිල්ලක් නොවේ. එනිසා එහි ඇතුළත් අයිතිවාසිකම් කඩවීමක දී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නොහැකිය.

නීතිය

එසේවුවද රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් කාන්තාවන්ට ඇති අයිතිවාසිකම් සුරක්ෂිත කර තිබේ. එහි 12 වැනි ව්‍යවස්ථාව යටතේ ස්ත්‍රී පුරුෂ භේදයෙන් තොරව සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම ලැබිය යුතු බව දක්වා තිබේ. ඒ අනුව ස්ත්‍රී පුරුෂ භේදය අනුව වෙනස්කමකට හෝ විශේෂයකට භාජනය නොවිය යුතු බව දක්වා තිබේ. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මූලික අයිතිවාසිකමක් ලෙස සුරක්ෂිත කර තිබෙන අතර ඒ අයිතිවාසිකම කඩවීමක දී අධිකරණමය ක්‍රියාමාර්ගයකට යොමු වී සහන ලබා ගත හැකිය. එමෙන් ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එම වගන්තියේ ම කාන්තාවන්ගේ ප්‍රගතිය සඳහා විශේෂ විධිවිධාන සැලැස්විය හැකි බව දක්වා තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීමේ මූලධර්ම හා මූලික යුතුකම් යටතේ 27 ව්‍යවස්ථාවේ ද කාන්තාවන්ට අදාළ ප්‍රතිපාදන දක්වා තිබේ. ඒ අනුව ස්ත්‍රී පුරුෂ භේදය හේතුවෙන් යම්කිසි අශක්නුතාවකට පත් නොවන පරිදි පුරවැසියන්ට දියුණුවීමට සම අවස්ථා සැලසීමට රජය වගබලා ගත යුතු බව දක්වා තිබේ.

ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළක්වීමේ පනත

කාන්තාවන්ට බලපාන නීතිවලදී 2005 අංක 34 දරන ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත පිළිබඳ විමසා බැලීම ද වැදගත් වේ. මේ පනත කාන්තාවන්ට පමණක් ඇති පනතක් යැයි සමහරෙක් සිතති. එහෙත් ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පීඩාවට පත්වන තැනැත්තන්ට මේ පනතෙන් සහන ලබා ගත හැකිය. ඒ අනුව පීඩාවට පත්වන කාන්තාවන්ට ද පනත අනුව සහන අයැද සිටිය හැකිය. එවැනි අවස්ථාවක දී මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ආරක්ෂණ ආඥාවක් ලබා ගත හැකිය. ඒ ඉල්ලීම පීඩාවට පත්වන තැනැත්තා විසින් හෝ ඒ තැනැත්තා වෙනුවෙන් පොලිස් නිලධාරියකු විසින් හෝ කළ හැකිය. එවැනි ආරක්ෂක ආඥාවක අන්තර්ගත විය හැකි තහනම් කිරීම් පිළිබඳ පනතේ 11 වැනි වගන්තියේ දැක්වේ. ඒ අනුව පීඩාවට පත් තැනැත්තා වාසය කරන ස්ථානයට වගඋත්තරකරු ඇතුළුවීම වැළැක්විය හැකිය. එමෙන් ම පීඩාවට පත් තැනැත්තාගේ ආරක්ෂාවට සෞඛ්‍යයට හෝ යහපැවැත්මට හානිකර වන වගඋත්තරකරුගේ ක්‍රියා කලාපයක් තහනම් කරනු ලැබිය හැකිය. තවද පීඩාවට පත් තැනැත්තා අසරණ තත්ත්වයට පත් කරන ආකාරයෙන් වෛවාහික නිවස විකිණීම, පැවරීම, අන්සතු කිරීම ද තහනම් කළ හැකිය.

සාප්පු හා කාර්යාල සේවක පනත

ගර්භණී කාන්තාවන් සහ කිරි දෙන මවුවරුන් සම්බන්ධව 1954 අංක 19 දරන සාප්පු සහ කාර්යාල සේවක පනත සහ 1939 අංක 32 දරන සූතිකාගාර ආඥා පනත වැදගත් වේ. ඒ අනුව මේ ප්‍රතිපාදන ගර්භණී සේවිකාවන්ට දරු ප්‍රසූතියට පෙර හා පසු ලබාදිය යුතු නිවාඩු පිළිබඳ දක්වා තිබේ. සාප්පු සහ කාර්යාල සේවක පනත යටතේ දරු ප්‍රසූතියට පෙර දින 14ක සහ දරු ප්‍රසූතියෙන් පසුව දින 70ක නිවාඩු ලබා දීමට සේවා යෝජකයා බැඳී සිටියි. සූතිකාගාර ආඥා පනත යටතේ දරු ප්‍රසූතියට පෙර සති දෙකක සහ දරු ප්‍රසූතියෙන් පසුව සති 10ක නිවාඩු ලබා දිය යුතු බව දක්වා තිබේ. පනත් දෙකේ ම මේ නිවාඩු ප්‍රමාණය හිමි වූයේ පළමු දරු උපත් දෙක සඳහා පමණි. ඉන්පසු දරු උපත් සඳහා ලැබුණේ ඊට වඩා අඩු නිවාඩු දින ගණනකි. එහෙත් 2018 අංක 14 දරන සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබඳ (සේවය හා වේතන විධිමත් කිරීමේ) (සංශෝධන) පනත යටතේ සහ 2018 අංක 15 දරන සූතිකාගාර (සංශෝධන) පනත යටතේ එම සීමාව ඉවත් කර ඇත. ඒ අනුව පළමු දරු උපත් දෙක සඳහා පමණක් නොව ඊට පසු දරු උපත් සඳහා ද ඉහත දැක්වූ ආකාරයෙන් නිවාඩු ලබා දිය යුතුය.

 

2019/03/13 තරුණි බලන්න.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.