මොකක්ද මේ ඇටෝර්නි බලපත්‍රය

ජුනි 5, 2019

කමල් විදෙස් රටක රැකියාවකට යාමට බලාපොරොත්තුවෙන් සිටියේ ය. එහෙත් ඔහුට එක් ගැටලුවක් විය. ඔහු සතුව ව්‍යාපාරික ස්ථානයක් ද නිවාස දෙකක් ද තවත් ඉඩම් ද විය. ඒවා සම්බන්ධයෙන් බදු ගිවිසුම්, කුලී ගිවිසුම් රැසක් ද පැවතිණ.

එමෙන් ම ඔහු බෙදුම් නඩුවක විත්තිකරුවකු ද විය. එවැනි නීත්‍යානුකූල කටයුතු තම බිරිය කමනීට පැවරීමට කමල්ට අවශ්‍ය විය. කමනී ඔහුගේ බිරිය වූ පමණින් ඇයට එම නීත්‍යානුකූල කටයුතුවල නිරත විය හැකි දැයි ඔහුට ගැටලුවක් විය.

මෙසේ යමකු රටින් බැහැරව තම අධිකරණ කලාපයෙන් බැහැරව සිටින විට ඒ පුද්ගලයා විසින් කළ යුතු වන නීත්‍යානුකූල කටයුතු ඉටු කිරීමට වෙනත් තැනැත්තකුට බලය පැවරීම කට වචනයෙන් පැවරීම ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා නීතියෙන් නියම කර ඇති ක්‍රමවේදය අනුගමනය කළ යුතුය. එනම් ‘ඇටෝර්නි බලපත්‍රය’ (ර්‍ථධඹඥප ධට ඒබබධපදඥර) නමින් හඳුන්වන සුවිශේෂී ලියවිල්ල මඟින් බලය පැවරීම සිදුවිය යුතුයි. මේ සතියේ පැහැදිලි කරනු ලබන්නේ ඇටෝර්නි බලපත්‍රය යනු කුමක් ද? එය සකස් කළ යුත්තේ කෙසේද? ඇටෝර්නි බලපත්‍ර වර්ග මොනවාද? ලියාපදිංචි කිරීම සහ එය අවලංගු කිරීම කළ හැක්කේ කෙසේ ද යන කරුණු පිළිබඳය.

යම් තැනැත්තෙක් අදාළ අධිකරණ බලසීමාවෙන් බැහැරව සිටින විටක දී ඒ තැනැත්තා විසින් කළ යුතු නීත්‍යානුකූල කටයුතු කිරීමට වෙනත් අයකුට බලය පවරන ලියවිල්ලක් ලෙස ඇටෝර්නි බලපත්‍රය හැඳීන්විය හැකියි. එසේ අධිකරණ බලසීමාවෙන් බැහැරව සිටින, බලය වෙනත් අයකුට පවරන තැනැත්තා ඇටෝර්නි අධිපති වශයෙන් ද එසේ බලය ලබන වෙනත් තැනැත්තා ඇටෝර්නි බලකරු වශයෙන් ද හැඳීන්වේ.

එනම් ඇටෝර්නි අධිපති අධිකරණ බලසීමාවෙන් බැහැරව හෝ රටින් බැහැරව සිටින විට ඇටෝර්නි බලකරුට බලය පවරයි. ඒ නිසා ඇටෝර්නි අධිපති අධිකරණ බලසීමාවේ පදිංචිව සිටින විටෙක ඇටෝර්නි බලකරුට එවැනි බලයක් ක්‍රියාත්මක කළ නො හැකි බව ද මතක තබා ගත යුතු කරුණකි.

ඇටෝර්නි බලපත්‍ර සම්බන්ධ නීති ප්‍රතිපාදන ඇතුළත් වන්නේ 1902 අංක 4 දරන ආඥා පනතේය. එය 1913 අංක 9, 1939 අංක 33, 1978 අංක 23 සහ 2013 අංක 14 යන පනත්වලින් සංශෝධනය වී තිබේ.

ඇටෝර්නි අධිපති ඇටෝර්නි බලපත්‍රය සකස් කිරීමේ සඳහන් කරමින් තම ඇටෝර්නි බලකරු ලෙස පත් කරන තැනැත්තා බලපත්‍රයේ සඳහන් කළ යුතුය. ඉන්පසු අදාළ නියමයන් බලය පවරන කරුණු ආදිය සඳහන් කර අත්සන් තැබිය යුතු වේ. ඇටෝර්නි බලපත්‍රයක් සම්බන්ධයෙන් විශේෂත්වයක් වන්නේ ඇටෝර්නි බලකරුගේ දිවුරුම් ප්‍රකාශයක් ද ලියාපදිංචියේ දී ඉදිරිපත් කළ යුතුවීමයි.

බලපත්‍රයේ සඳහන් කරුණු අවංකව, නිසි පරිදි ක්‍රියාත්මක කරන බවට එහි සඳහන් කළ යුතුය. ඇටෝර්නි බලපත්‍රය නොතාරිස්වරයකු විසින් සහතික කළ යුතු වේ. මීට අමතරව විනිශ්චයකාරවරයකුට, මහේස්ත්‍රාත්වරයකුට, තානාපතිවරයකුට සහ මහ කොමසාරිස්වරයකුට ද ඇටෝර්නි බලපත්‍ර සහතික කළ හැකිය.

ඇටෝර්නි බලපත්‍රයක් වලංගු වීම සඳහා ලියාපදිංචි කිරීම අත්‍යවශ්‍ය නොවුණ ද සාමාන්‍ය යෙන් එය ලියාපදිංචි කිරීම සිදු කෙරේ. එයට හේතුව වන්නේ ඇතැම් රජයේ ආයතන ලියාපදිංචියෙන් තොර ඇටෝර්නි බලපත්‍ර පිළිගැනීම ප්‍රතික්ෂේප කරන බැවිනි. ඇටෝර්නි බලපත්‍ර රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරනු ලබයි. ලියාපදිංචිය සඳහා ඇටෝර්නි බලපත්‍රයේ මුල් පිටපත ද එහි සහතික කළ පිටපත් දෙකක් ද ඇටෝර්නි බලකරුගේ දිවුරුම් ප්‍රකාශය ද ඉදිරිපත් කළ යුතු වේ. එමෙන් ම ලියාපදිංචි ගාස්තුවක් ද ගෙවිය යුතුය.

 

2019/06/05 තරුණි බලන්න