නො දන්නා වාහනයකට ගොඩවී මවක් කැඳවාගත් විපතක්

ජුනි 26, 2019

විමසිලිමත් දෑස දල්වාලන්න. ආරක්ෂාව පිළිබඳ සැකයේ සාංකාවකුදු සිතට නොනැඟුණ ද බිහිසුණු අනතුරක් ඔබ අබියසම තිබිය හැකියි. ඒ නිසාම හුදෙකලා ඇසිල්ලකදී තීන්දු තීරණ ගතයුතුව ඇත්තේ ඇසට පෙනෙන සිතට දැනෙන තරමට නොව බුද්ධියට ඉඩ හැරීමෙනි. වියපත් දිවියට පානැඟුව ද ස්ත්‍රීත්වය ලබා උපන් ඔබට ආරක්ෂාව පිළිබඳ මේ නියමය එලෙසම ය.

ඔබේ සංවේදී සිතට රිදුම් රේඛා නැඟිය හැකියි. කමා කළ මැනවි. මෙවර සත්‍ය කතාවේ දිගහැරුම දැයේ කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මේ මහඟු පණිවුඩය අවධාරණය කරනු පිණිසයි.

උඩුබුබුල ගොඩකුඹුරවත්තේ ශි‍්‍රයානි ප්‍රේමලතා වයස පනස් හතක් වූ තිදරු මවකි. ඇය සැඳෑවිය ගෙවමින් සිටියේ විවාපත් වී සිටි දියණියගේ නිවහනේ ය. පසුගිය මාර්තු මස තුන්වැනිදා ශි‍්‍රයානි දියණියගේ නිවෙසින් පිටවන්නේ දෙබරවැව ප්‍රදේශයේ පදිංචිව සිටි තම වැඩිමහලු සොයුරිය සහ තම ඥාතීන් බැහැදැකීමේ අරමුණෙනි. මේ නෑදෑ ගමන වෙනුවෙන් රැගෙන යන්නට ඇය ගමේ වැවෙන එළවළු, පලතුරු එක්රැස්කර ගමන් මලු කීපයකට පොදි බැඳගෙන සිටියා ය. තනිව රැගෙන යාමට නොහැකි තරම් වූ මෙම ගමන් මලු නිසා මිණිබිරියෝ දෙදෙනා මිත්තණිය බස් නැවතුමට ඇරලවන්නට ඉස්සර වූහ.

“ආච්චි, ඔයා නැතිව අපට ගොඩාක් දවස් ඉන්න බැහැ. ඉක්මනට ආපහු එන්න ඕනෑ”

මේ බස්නැවතුමට ඇරලවූ මිත්තිණිය වෙත මිණිබිරියන් කළ ඉල්ලීමයි. ඉන්පසු ඔවුන් මිත්තණියගේ දෙපා නැමැඳ ආපසු නිවෙස වෙත පැමිණ ඇත.

ගොඩකුඹුරවත්තේ සිට දෙබරවැවට පැය තුන හතරක ගමනක් යායුතුව ඇත. ඉරමුදුන් වී හෝරා එකහමාරක් ගතවී ඇත. ශි‍්‍රයානි මහමඟ දෙස දෑස් දල්වාගෙන බලාසිටියේ බස්රථයක් එනතුරා ය. ඇය පසුකර ඉදිරියට ගිය මෝටර් රථයක් යළිත් හරවාගෙන පැමිණ ඇය ඉදිරියේ නතරවන්නේ මේ ඇසිල්ලේ ය.

“ආ... අම්මා පාරේ ඉන්නවා දැකලා නැවැත්තුවේ. බස් එකක් තවම ආවේ නැද්ද?”

හදිසියේම මහමඟදී හමුවූ පුතකුගේ කරුණාබර විමසුමකි.

“අනේ නෑ පුතේ... පුතාලා කොහේද යන්නේ ?”

අවස්ථාව අනුව ශි‍්‍රයානි ද සිනාමුසු මුහුණින් පිළිවදන් දුන්නා ය.

“අපි කතරගම යන්නේ. අම්මා කොහාට ද යන්නේ..?”

“මම දෙබරවැවට යන්නේ”

“අපට අම්මාව දෙබරවැවට ඇරලවන්න පුළුවන්.”

තමා ඉදිරියට පැමිණි තරුණයකුගෙන් දිගහැරෙන කරුණාව කෙරෙහි ඇයට දරු සෙනෙහසක් නැඟෙන්නට ඇත. යායුතු වූ ගමන වෙනුවෙන් උදවුවක් ලබන්නට ඇයගේ සිතේ නන්නාඳුනන තරුණයන් පිළිබඳ විශ්වාසයක් ගොඩ නැඟෙන්නට ඇත්තේ එබැවිනි.

ඉන්මතු මෝටර් රථයට ගොඩවූ ශි‍්‍රයානි නන්නාඳුනන තරුණයන් හතර දෙනකු අතරට මැදිවී තම විස්තර ද පවසන්නී ය.

“මගේ පුතාලත් හරියට මේ පුතාලා වගේමයි. එක පුතෙක් ඉන්නේ පොලීසියේ. මගේ බෑනා ආමි කැප්ටන් කෙනෙක්. මම ඉන්නේ එක දුවකුගේ ගෙදර. අක්කායි, අනිත් නෑයොයි ඉන්නේ දෙබරවැව. මේ මම එයාලව බලන්න එහේ යන ගමන්..”

එනමුදු තරුණයන්ගේ අවධානය යොමුවන්නේ ඇගේ විස්තරයට වඩා ඇය පැලඳ සිටින රන් ආභරණ වෙත ය.

“මේ බඩු ගෙනියන්නේ දෙබරවැව නෑදෑයන්ට වෙන්න ඇති”

නන්නාඳුනන තරුණයන් තවදුරටත් ඇගේ අහිංසක හදවතේ සැහැල්ලුවට ඉඩහරිමින් පිළිවදන් දුන්හ.

මෝටර් රථය පැරැණි සෙල්ලකතරගම බුත්තල පාර ඔස්සේ යාල වනෝද්‍යානය පහුකරමින් ධාවනය වේ. ශි‍්‍රයානි හිතේ චකිතය මැකෙන්නට තවදුරටත් තම දරුවන් වැනියැයි සිතූ තරුණයන් සමඟ සුහද කතාබහේ යෙදුණාය.

එහෙත් එකවරම කැලෑව ඇතුළට මෝටර් රථය හැරවෙද්දී ශි‍්‍රයානිගේ සිතේ සැහැල්ලුව භීතියේ ගින්නෙන්ම දැවෙන්නට ඇත.

“කොහේද පුතේ මේ යන්නේ?”

අසරණ වියපත් මවකගේ මේ විමසුමට නරුම තරුණයන්ගෙන් ලැබෙන්නේ රුදුරු ප්‍රතිචාරයකි.

“වහපං ගෑනියේ කට...”

ඉන් මත්තට ඇයට තමන් මැදිව ඇත්තේ මිනිස් පුතුන්ගේ වෙස්ගත් තිරිසන් රැලකගේ අතරට බව දැනෙන්නට ඇත.

“අනේ පුතේ... මං ළඟ තියෙන සේරම දේවල් ගන්න. මාව කැලේ අතරමං කරලා දාලා යන්න එපා”

මේ අසරණ මව තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන්ට කළ ආයාචනයයි.

එහෙත් හඬා වැටෙමින් ජීවිතය යදින තම මවුන් වැනි කාන්තාවක් ඉදිරියේ දී ඔවුහු තිරස්චීන මෘගයන් වූහ.

ඉන්මතු සිදු වූ දේ කොතෙක් බිහිසුණු දැයි දන්නේ වනෝද්‍යානයේ මහපොළොවත් ඊට ඉහළින් වූ අහස් වියනත් අවට වූ ගහකොළත් අසරණ මාතාවත් පමණි.

පොලිස් පරීක්ෂණ අනුව අත්අඩංගුවට පත්වූ අපරාධකරුවන්ගෙන් හෙළිකරගත් තොරතුරු අනාවරණය කරන්නේ බෙහෙවින්ම ම්ලේච්ඡ වූ සිදුවීම් පෙළකි. ඒ නිසා ටික වේලාවකට පෙර “පුතේ” යැයි සෙනෙහෙබරව ඇමතූ මවක්ව නරුමයන් පිරිසක් විසින් ලිංගික අතවරයකට ලක්කර, රන් භාණ්ඩ පැහැරගෙන ඝාතනය කෙරුණු බව පමණක් සටහන්කර තබමු.

 

ගමන් පහසුව සලසාදෙන්නට යැයි ඔබ ඉදිරියේ නතරවන නන්නාඳුනන රියක් ඉදිරියේදී බුද්ධියට ඉඩ දෙන්න. සැබෑ කරුණාවක් සැබැවින්ම හඳුනාගැනීමට ඇසිල්ලකදී නොහැකි ය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.