විදෙස් ගත වෙන්නට පෙර තොරතුරු නිවැරැදිව දැනගැනීම වැදගත්

ඔක්තෝබර් 2, 2019

ආර්ථිකය සරු කරගනිමින් දරුවන්ගේ බඩ කට පුරවන්නට, දරුවන්ට හොඳ අධ්‍යාපනික පසුබිමක් සකසා දෙන්නට, හිසට සෙවණක් සාදා ගන්නට කාන්තාවන් තම පවුලේ බර කරමතට ගනිමින් විදේශ රැකියා සඳහා පිටත්ව යෑම ඇරැඹුණේ මීට දශක කිහිපයකට පෙරය.

මෙහිදී රන් කහවණු සොයන්නට යන බොහෝ දෙනා තෝරා ගන්නේ ගෘහසේවිකාවක ලෙස කටයුතු කරන්නටයි. රැකියාවක් සඳහා විදේශගත වීමට තීරණය කිරීම ඔබගේ පවුලේ අයට මහත් ප්‍රතිලාභ ගෙනදෙන අනගි අවස්ථාවක් විය හැකියි. ඇතැමුන්ට මෙරට රැකියාවක් සොයා ගන්නවාට වඩා විදෙස් රැකියාවක් සොයා ගැනීම පහසු විය හැකියි.

විදෙස්ගත වීමේදී එය ඔබගේ ජීවිතයේ ගුණාත්මකභාවය වැඩිකරලීමට ද හේතුවක් විය හැකියි. ඔබ ඉපයූ මුදලින් ඉතිරි කොට ඉඩමක් මිලදී ගැනීම, නිවෙසක් ඉදිකිරීම, ඔබගේම ව්‍යාපාරයක් තැනීම ආදිය කළ හැකියි.

උපයන මුදලින් පවුලේ අනෙකුත් අවශ්‍යතාවන් සපුරාලීමට ඔබට හැකිවනු ඇත. ඇතැම් විට නව තාක්ෂණික සහ භාෂා නිපුණතාව ඇතිවනු ඇත. නව නිපුණතා හැකියාවන් මෙරට දී රැකියාවක් සොයා ගැනීමට, ඔබගේම ව්‍යාපාරයක් ඇරැඹීමට අවැසි මඟ සලසනු ඇත. මේ විදෙස්ගත වීමේන් ඔබ අත්කරගන්නා වාසිදායක තත්ත්වයන්ය.

 

  •  එහෙත් විදෙස්ගත වීමට පෙර ඔබ මෙම කරුණු පිළිබඳව ද සිතා බැලිය යුතු වේ.
  •  රැකියාවක් සඳහා විදේශගත වීමට තීරණය කිරීමෙන් ඔබේ ජිවිතය සාර්ථක කළ හැකි ද?
  •  ඔබගේ දූදරුවන්ගේ අනාගත ජීවිතයට කුමක් සිදුවේවි ද? ඔබේ දරුවන් බලා ගන්නා පුද්ගලයා ශරීර ශක්තිය ඇති කෙනෙක් ද? සදාචාරාත්මක කෙනෙක් ද? ඔහු/ඇය විශ්වාසවන්ත ද?
  •  එම පුද්ගලයා දරුවන්ගේ සෞඛ්‍යය ගැන (ලෙඩ රෝග, ප්‍රතිශක්තිකරණය සහ සංවේදී ලිංගික ගැටලු) සලකා බලයි ද?
  • රුවන්ගේ පාසල් සහ අනෙකුත් කටයුතු බාධාවකින් තොරව කරගෙන යෑමට හැකිවෙයි ද?
  •  ඔබ නැති අතරතුර ඔබගේ සහකරුට හෝ සහකාරියට ඔබ නොමැතිව ජීවත් විය හැකි ද?
  •  ඔබ විදෙස්ගත වීම නිසා වැඩි අවධානයක් අවශ්‍ය වන මාපියන්ට, දූදරුවන්ට බලපෑමක් ඇති වෙයි ද?

 

2019/10/02 තරුණි බලන්න