හරි මඟින් රට ගොස් නැවත ශ්‍රී ලංකාවට පැමිණි පසු

නොවැම්බර් 20, 2019

හරි මඟින් රට යෑම පිළිබඳ සති ගණනාවක් පුරාවට සුවහසක් තරුණී පාඨක ඔබව දැනුවත් කළා. එහි අවසන් පියවර ලෙසින් මෙවර අවධානය යොමුවන්නේ විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන ඔබ දැන සිටිය යුතුම කරුණු කාරණා පිළිබඳ යි.

ඔබ විදෙස්ගතව සිට ආ පසුවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඔබ පිළිබඳ විමසිලිමත් වෙයි. ඔබව පසු විපරමකට ලක්කරයි.

ස්වයං රැකියා සඳහා යොමු කිරීම

සාමාන්‍යයෙන් එක් වරක් විදෙස්ගතවූ කෙනකු නැවත නැවත විදෙස්ගත වීමට පෙලඹෙයි. මේ නිසාම මුල් අවුරුදු දෙකේ දී නොතිබුණු පවුල් ආරවුල් පසුව ඇතිවීමට පුළුවන. විදේශ සේවා නියුක්ති කාර්යාංශය මැදිහත්ව නැවත නැවත විදෙස්ගත වීම වෙනුවට ඔවුන් ඉපයූ මුදල් ආයෝජනය කරමින් ස්වයං රැකියාවල නිරතවීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශනය සපයයි. ඒ සඳහා ආධාර ද කරයි.

විදෙස්ගතව සිට පැමිණෙන කෙනකු ස්වයං රැකියාවක නිරතවීමට කැමැති නම් සේවය නිමවා පැමිණ වසර පහක් ඇතුළත විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුවත් කළේ නම් ඒ සඳහා අවශ්‍ය ආධාර මුදල් සඳහා ඉල්ලුම් කළ හැකි වේ. ආධාර මුදල් කොටස් වශයෙන් ලබාදෙන අතර ඔබ ව්‍යාපාරය ගොඩනැඟීමේ මුල්ම අඩිතාලමේ සිට ඔවුන් වරින්වර පැමිණි ඒ පිළිබඳ සොයා බලයි.

අකරතැබ්බයන්ට මුහුණ දෙන්නට වුවහොත්

විදෙස්ගතව සිට නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ රෝගාතුර වීමෙන්, ආබාධයකට ලක්වීමෙන්, හිරිහැරවලට ලක්වීමෙන් හෝ අපචාරයට ලක්වීමෙන් නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිලධාරීන්ගේ සහයෝගය ලබාගත හැකි වේ.

ගුවන් තොටුපළේ සිටින ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් ඔබට නැවත නිවෙස් බලා යෑමට මුදල් ලබාදීම, තාවකාලිකව ආහාර සහ ඉඳුම්හිටුම් ලබාදීම ඇතුළු සේවා රාශියක් ඉටු කිරීමට සූදානම් ව සිටිති. එහිදී ගුවන් තොටුපොළේ ලියාපදිංචි වී ඇති කැබ් රථ පමණක් භාවිත කිරීමට, අතරමැදියන් තැරැව්කරුවන්ගේ උදව් ලබා නොගන්නට වගබලා ගත යුතුය.

රක්ෂාණාවරණ

විදේශ සේවා නියුක්ති කාර්යාංශය් ලියාපදිංචි වී විදෙස්ගත වූවන් යම් යම් අකරතැබ්බයන්ට මුහුණ දී මෙරටට පැමිණි පසු රක්ෂණ ආවරණ ලබාගැනීම කළ හැකි වේ. එහිදී අකරතැබ්බයකට මුහුණ දී මාස 6ක් ඇතුළත රක්ෂණය සඳහා ඉල්ලුම් කළ යුතු වේ.

මෙහිදී සාමාන්‍යයෙන් රක්ෂණාවරණයකට හිමිකම් නොකියන අවස්ථාවලදී එනම් සියදිවි හානි කරගැනීම්, යුද කෝලාහල ආදිය නිසා වන අනතුරු ආදිය ආවරණය නොවේ.

විදේශයක දී මරණයක් සිදුවූ විට

අවාසනාවන්ත ලෙස විදෙස්ගතව සිටිය දී ශ්‍රමිකයෙක් මිය ගිය හොත් කලින් තීරණය කරන ලද රක්ෂණ ඔප්පුවට අනුව හිමිකරු හෝ ළඟම ඥාතියා විසින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට වන්දි ඉල්ලා අයැදුම් කළ හැකිය. එහිදී

* මරණයට පත්වූ පුද්ගලයාගේ පවුලේ අය විසින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ තානාපති අංශයට දන්වා මළ සිරුර ගෙන්වා ගැනීමට ලියකියවිලි ලබාගත යුතුය.

* මළ සිරුර ගෙන්වා ගත් පසු විදේශ සම්බන්ධතා අංශයට ඒ බව දන්වා අවමංගල්‍ය සඳහා රුපියල් 10,000 ක වන්දි මුදලක් ලබාගත හැකි වේ. ඒ සඳහා විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය විසින් මරණය සනාථ කිරීමට ලබාදෙන ලියකියවිලි, හිමිකරු සහ මියගිය පුද්ගලයාගේ ඥාති සම්බන්ධතාව තහවුරු කිරීමට ලියකියවිලි ග්‍රාමසේවක සහතිකය ඉදිරිපත් කළ හැකි වේ.

 

උපදෙස්

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නීති කළමනාකාරිනී

නෙළුම් සමරසේකරට

විශේෂ ස්තූතිය - ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහකාර කළමනාකාර (ප්‍රචාරක)

ඉලාම් කාසිම්ට

2019/11/20 තරුණි බලන්න